fbpx
තවත්
    මුල් පිටුවspecialකළුතර දැරිවියත් එක්ක මාධ්‍යත් බිමට පනියි?

    කළුතර දැරිවියත් එක්ක මාධ්‍යත් බිමට පනියි?

    ජනමාධ්‍ය ඇත්තේ ජනතාවට නිවැරදි තොරතුරු සන්නිවේදනය කිරීම සඳහාය. එසේ වුවද ජනමාධ්‍යට ආචාර ධර්ම හා අනිවාර්යෙන් කියවාගත යුතු හර පද්ධතීන් තිබේ. එසේ නොමැතිව මාධ්‍යයේ යෙදීම සමස්ත මාධ්‍යට කරන හානියකි. ඒ හානියට ආසන්න උදාහරණය කළුතර පාසල් සිසුවියගේ මරණයයි. උදේ සවස මෙන්ම රාත්‍රියට නින්දට යනවිටද රටේ වගකිවයුතු රූපවාහිනි නාලිකා මෙන්ම ඇතැම් පුවත්පත් ද වෙබ් අඩවිද ඇතුළුව නොයෙක් යූ ටියුබ් නාලිකා ද දින කිහිපයක්ම මිය ගිය කළුතර දැරිවියගෙන් තමන්ගේ පුවත් හෙළුව වසා ගැනීමට වෙහෙසුනේය.

    පොලිසිය ද ඊට නොදැවිණි ලෙස පුවත් මැව්වේය. ඇතැම් පරික්ෂණ තත්ත්වයේ තිබෙන තොරතුරු මාධ්‍යට හෙළි කිරිමට අනිවාර්ය නොවුනද පොලිසිය එම තොරතුරු අමු අමුවේ ලිහා දැමුවේය. ඉන් ජනතාවට සෙතක් වී ද? වින්දිතයන්ට සෙතක් වි ද ? නැතහොත් මිය ගිය දැරිය නැවත නැවත මරා දැමුවේ ද ? යන්න වෙනම විමසා බැලිය යුතුය.

    මාධ්‍යට වැරදුනේ කොතන ද ?

    සමස්ත මාධ්‍යම නැතත් ඇතැම් මාධ්‍ය මෙම සිද්ධිය වාර්තා කිරීමේ දි හැසිරුණු ආකාරය විවිධ පැතිවලින් විමසා බැලිය හැකිය. පළමුවෙන්ම මෙසේ මිය ගිය දැරියගේ ඡායාරූප යොදාගනිමින් ප්‍රධාන සිරස්තල වාර්තා විය. ඇයගේ මුහුණ පෙන්විමෙන් ඔබට මට මාධ්‍ය ඇතිකළ හැඟීම කුමක් ද ? ඇයගේ ඇග පසග බලා සතුටු වීම ද ? නැතිනම් ඇය කාමරයකට කැටුව ගිය පිරිමියාගේ දේහ විලාසය හා සන්සන්දනය කිරිම ද ? අනෙක් අතට ඇයගේ මවගේ රුව මාධ්‍යයේ ප්‍රසිද්ධ කරමින් ඇයගේ නිවසට පවා මාධ්‍ය කඩා වැඳුනේ ඇයි ? එමගින් මියගිය දැරියගේ ජීවත්ව සිටින අම්මාට හොඳක් වි ද ? නැතිනම් අපහාසයක් වි ද ? පොලිසිය ඇයට ආ බව කියන දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් දුන් තොරතුරෙන් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරු සාධාරණයකට ලක් කළේ ද ? අදාළ තොරතුරු ඇතුළු විවිධ විස්තරකථන ප්‍රසිද්ධ කිරීමෙන් පොලිසිය ඔවුන්ට සොයාගත නොහැකි යමක් මහජනතාවගෙන් දැනගත්තේ ද ? යන්න අනාවරණය කරගත යුතුය.

    මේ සියලු දෙයින් ඔබ්බට ගිය විට සමාජ මාධ්‍ය ලයික් ෂෙයා තරගයක යෙදුනේය. මේ නිසා පවුලේ දරුවන්ද ඇතුළු බොහෝ වැඩිහිටියන් මෙම ප්‍රවෘත්ති එකට නරඹන බව පවා ඇතමෙක් අමතක කළහ. ඇතැම් නිවෙස්වල දරුවන් ඉන් කොතරම් රසාලිප්ත වූයේ ද යත් ඊළඟ දවසේ ප්‍රවෘත්ති නරඹන්නේ සිසුවියන් තට්ටු හෝටල්වලින් එළියට පැනපු කතා තව ඇත්තේ ද යන්න ගැන විමසමිනි.

    ඇතැම් මාධ්‍ය තල වපුරන්නේ වී ගන්න ද ?

    තිස් අවුරුදු යුද්ධය ත් ඊට පෙර සිටත් අපේ රටේ මාධ්‍ය භාවිතය නිවැරදිව තිබුණේ දැයි යන්න ප්‍රශ්න සහගතය. සිවුවන ආණ්ඩුව ලෙස ජනමාධ්‍ය හඳුන්වාගන්නා අතර ඒ වගකිම නිවැරදිව ඉටු නොකිරිමෙන් ජනමාධ්‍ය විසින් සමාජය හිත මතා පසුගාමි තත්ත්වයකට තල්ලු කරමින් සිටිනේද යන්න දිර්ඝ වශයෙන් සමාජ සාකච්ඡාවකට ලක්විය යුතුය. යුද්ධය පැවැති සමයේ මෙහි ප්‍රධාන සිමා ඉර පැවැතියේ මානව හිමිකම් හා යුද අපරාද මැයිනි. මෙම සිමාව ලකුණු කිරිමට එදා බොහෝ රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත්ව සිටියේය. ජාතික තලයේ මාධ්‍ය වාර්තාවන්හි හමුදාවට පක්ෂ හෝ රජයට පක්ෂ වාර්තාකරණය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ අතර අදාළ වාර්තාවල ඒකපාර්ශවීය ස්වභාවයන් විවේචනයට ලක්විය. මාධ්‍ය ඇතැම්විට දෙපිළ බෙදුනේය. එහෙත් මළ සිරුරු පෙන්වීමේ දි මෙන්ම වෛරය ඇතිවන සංකේතවලින් යම් සීමාවකට ලක්ව සාමාන්‍ය වාර්තාකරණයේ යෙදුනෝද සිටියහ. යුද්ධය අවසන්වූ පසු සාමය වෙනුවෙන් ආණ්ඩුව ගත් ප්‍රවේශයන් ගැන දිර්ඝව සාකච්ඡා කරන්නට නැතත් මාධ්‍ය ද එවන් වේදිකාවක් තැනීම හිතා මතා මග හැරියේය. ඊට හේතුව සාමය යුද්ධය තරම් මාකට් නොවිමයි. ඇතැම් බටහිර රටවල් හොඳ දේ අතරේ නරක දේ ද මෙරටට ඔතා දුන්නේය. ඒ සත්‍ය වසන් නොකළ යුතුය යන තේමාවට මුවා වි රහසිගත ආරක්ෂක තොරතරක් වුවද වාර්තා කළ යුතුය වැනි අදහසක් සමාජයට ඒත්තු ගැන්විමයි. ඉන් වසර කිහිපයකට පසු තොරතුරු දැනගැනිමේ පනත වැනි සුබවාදි පියවරයන් මාධ්‍යට හඳුන්වා දුන්නද අද සිදුවන්නේ අත්‍යවශ්‍යයෙන්ම ජනතාව දැනුවත්විය යුතු දේශපාලන ක්‍රියාකාරකම් දුෂණ වංචා වසන් වි කළුතර දැරිවියගේ මරණය වැනි ජනතාවටත් සමාජයටත් ඵලක් නොවන කාරණා ඉස්මතු කිරිමයි.

    අනෙකුත් රටවල මාධ්‍යත් මෙහෙම ද?

    සිදුවිම් වාර්තාකරණයේ දි අපේ රට හෝ අපේ රටටත් අන්ත රටවල් නැතිවා නොවේ. එහෙත් මාධ්‍ය සාක්ෂරතාව තුළ තවමත් අපේ ජනමාධ්‍යත් ජනමාධ්‍යකරුවනුත් ආර්ථික අර්බුදයේ ගිලි සිටියි. ඒ නිසා සිදුවන්නේ සිදුවිය නොවිය යුතු මාධ්‍යකරණයක භාවිතාවෙන් මුළු සමාජයක් පීඩා විඳිමයි. ජපානය වැනි රටවල් නම් පොලිස් හෝ අපරාධ වාර්තාකරණයට තැනක් නොදෙන තරම්ය. මාධ්‍ය ආයතනයක අඩුම අත්දැකීම් ඇත්තාට ජපානයේ හමුවන්නේ පොලිස් වාර්තාකරණයයි. ලංකාවේ මෙන් දුරකථනයෙන් පොලිස් වාර්තා ගැනිමේ හැකියාවක් ජපානයේ නැත. ඒ වෙනුවට මෙවැනි සිදුවිමක් නම් අනිවාර්යෙන් අදාළ පර්යේෂණ භාර පොලිස් නිලධාරියා හමුවිය යුතුය. ඒත් ඒ ඔහුගේ රාජකාරි වෙලාවේ නොවේ. එක්කෝ ඔහු නිවසින් පිටවිමට පෙරය. නැතිනම් ඔහුගේ රාජකාරි අවසන් වූ පසු එම කාර්යාලය ඉදිරිපස රැදි සිටිමෙනි. එසේ ලබාගන්නා වාර්තාවක වුවද ළමයින්ගේ ඡායාරූප, දෙමාපියන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කරන්නෙ නැත. දෙමාපියන්ගේ කැමැත්තෙන් වුවද එවැනි ඡායාරූප විකාශය හෝ පළ කිරිමකට බොහෝ රටවල ඉඩක් නැත. අපේ රටේ මෙන් ඒ නිසා අපරාධ වාර්තාකරණයට මුල් තැනක් ඇති වි හිරගෙවල් හතක දැමිය යුතු සමාජ පිඩක වරදකරුවන්ට මහ මොළකරුවන්යැයි හඳුන්වන්නේ නැත. පොලිසියෙන් අපරාධකරුවන්ට නිසි දඬුවම් ලැබනෙ බවට ජනතාවට විශ්වාසයක් ඇතිනම් මාධ්‍ය හා පොලිසිය විසින්ම සිදුකරන විවිධ අපරාදකරුවන් උත්කර්ෂයට නැංවිමෙන් සමාජයට වන හානිය වළකිනු ඇත.

    ප්‍රතිඵලය කුමක් වේවි ද ?

    කළුතර දැරිවියගේ මරණය වැනි සිදුවිම් හෝද හෝදා මඩේ දැමිමෙන් මාධ්‍ය බලාපොරොත්තුවන්නේ සමාජ යහපත නම් අනාගතයේ එවැනි අපරාධයන්ගෙන් තොර සමාජයක් බිහිවේයැයි කිසිදු බලාපොරොත්තුවක් සමාජයට ඇතිකරගත නොහැකිය. සැබැවින්ම සිදුවන්නේ මිට වඩා අන්ත සිදුවීම් සමඟ නැවත හමුවිමට සිදුවිම පමණි. එදිනට ද මාධ්‍ය මේ රසට වැඩි රසකින් එම අපරාධ වාර්තා කරනු ඇත. එසේ නොවන යහපත් සමාජයක් බලාපොරොත්තුවන්නේ නම් යම් සිමාවන්ට යටත් ආචාර ධර්ම රැකගනිමින් තොරතුරු වාර්තා කළ යුතුය. තොරතුරු වසන් නොකර අචාර ධර්ම රැකගෙන වාර්තාකරණයේ යෙදෙන මාධවේදින් බිහි කිරිමට සියලුදෙනා වගබලා ගත යුතුය. මෙරට ඇතැම් ව්‍යවසායකයන් මේ තත්ත්වය තේරුම්ගෙන සිටියි. ඇතැම් මාධ්‍ය ඒ වෙනුවෙන් මෙහෙයවමින් සිටියි. රටක් සංවර්ධනය කිරිමට නම් එහි වෙසෙන ජනතාවගේ මනස ද උසස් තත්ත්වය පත් කළ යුතුය. එසේ නොවන මනසකින් නිර්මානශීලිව රට වෙනස් වේ යැයි සිහින දැක ඵලක් නැත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.