fbpx
තවත්
    මුල් පිටුවඅනාවරණඇමරිකානු ඩොලර් නෝට්ටුත් මෙරටදී හොරට මුද්‍රණය කරල

    ඇමරිකානු ඩොලර් නෝට්ටුත් මෙරටදී හොරට මුද්‍රණය කරල

    ව්‍යාජ ලෙස ඇමරිකානු ඩොලර් 100 නොට්ටු මෙරටදී මුද්‍රණයකර බෙදා හරීමේ ඡාවාරමක් හෙළීකර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ නිලධාරීන් සමත්ව ඇත.

    ව්‍යාජ ලෙස ඇමරිකානු ඩොලර් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවන් දෙදෙනෙක් මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ නිලදාරීන් විසින් කන්තලේ සහ අනුරාධපුරයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් උපකරණද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇත.

    මොවුන් මුද්‍රණය කළ නෝට්ටු මේ වන විට රට පුරා බෙදා හැර ඇති බවත් එම නෝට්ටු සංසරණය වෙමින් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කළේය. එබැවින් ඇමරිකානු ඩොලර් නෝට්ටු භාවිතයේදී ඒ ගැන වඩාත් සැලකිලිමතත්වන ලෙස අජිත් රෝහන මහතා මහජනතාවගෙන් ඉල්ලීමක්ද කරයි.

    ඇමරිකානු ඩොලරයේ මෙරට වටානාකම ඉහළ යාමත් සමග මෙම ඡාවාරම ක්‍රියාත්මක වී ඇති බව විමර්ශන වලිින් පෙනී ගොස් ඇත. මෙරට රුපියල් වටිනාකමට වඩා අඩු වටිනාකම්වලට ව්‍යාජව මුද්‍රණය කරන ඩොලර් නෝට්ටු බෙදා හාර ඇති බැවින් වැඩි දෙනෙක් ඒවා මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    මෙම ඇමරිකානු ඩොලර් නෝට්ටු මුද්‍රණය ගැන තොරතුරු හෙළිවී ඇත්තේ ව්‍යාජ ලෙස මෙරට මුදල් මුද්‍රණය කර බෙදා හැරීමේ ඡාවාරම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ප්‍රාදේශීය පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන ඒකකයට භාරදීමෙන් අනතුරුව කළ වැඩිදුර විමර්ශනයකදීය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ ව්‍යාජ මුදල් නෝට්ටුවක් තමා අතට පත්වුවහොත් හෝ යම් සැකකටයුතු නෝට්ටුවක් තමා අතට පත්වුවහතේ හෝ ලඟම ඇති පොලිස් ස්ථානයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශයේ 011-2326670 දුරකතන අංකයට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0011-2320145 යන දුරකතන අංකයට දැනුම් දෙන ලෙසය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.