fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"නාස්ති කරන්න කාලයක් නෑ" -ජනපති

    “නාස්ති කරන්න කාලයක් නෑ” -ජනපති

    නාස්ති කිරීමට කාලයක් නොමැති බවත්, අසල්වැසි රාජ්‍යයන් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඉතා වේගයෙන් දියුණු වන කලාපයක් ලෙස විශේෂයෙන් දකුණු ඉන්දියාව සමඟ එක්ව කටයුතු කිරීම ශ්‍රී ලංකාවට වාසිදායක බවත් ඔහු පෙන්වා දුන්නේය.

    ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

    රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයට පැවරී ඇති වගකීමක් බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (30) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවති “ DIGIECON 2030” එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

    තාක්ෂණ අමාත්‍යාංශය විසින් වැඩසටහන සංවිධානය කර තිබිණි.

    ‘DIGIECON 2030’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව එළිදැක්වූවකි.

    තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට සහ ගෝලීය වෙළෙඳපොළ තුළ රටේ තරඟකාරිත්වය වැඩිදියුණු කිරීමට ඩිජිටල් තාක්ෂණයන් සහ නවෝත්පාදන විසඳුම් වැළඳ ගැනීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බැවින් තාක්ෂණ අමාත්‍යාංශය ප්‍රධාන පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව ව්‍යාපෘතිය සම්බන්ධීකරණය කර ක්‍රියාත්මක කරනු ඇත.

    DIGIECON 2030” මගින් අලුතින් විවිධ ක්ෂේත්‍රවල ආරම්භ වූ නව්‍ය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් 50 දෙනෙකුට හෝ ඊට වැඩි පිරිසකට ගෝලීය ආයෝජන සහ වෙළඳපොළ වෙත ප්‍රවේශ වීම සඳහා වේදිකාවක් සකසනු ලැබේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ විශ්වවිද්‍යාල හා අනෙකුත් පර්යේෂණ ආයතන ඒකාබද්ධ කර ඩිජිටල් ප්‍රතිපත්තිය සැලසුම් කිරීම ආරම්භ කිරීම සඳහා මේ වසරේ රුපියල් මිලියන 100ක් වෙන් කරන බවයි.

    එසේම කෘත්‍රිම බුද්ධිය පිළිබඳ ප්‍රමුඛ අවධානය යොමු කරමින් පර්යේෂණ සිදු කිරීමට ලබන වසරේදී රුපියල් බිලියනයක් වෙන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

    ඉහළ තරගකාරී ආර්ථිකයක් නිර්මාණය කළ හැක්කේ හරිත ආර්ථිකයක් මෙන්ම ඩිජිටල් ආර්ථිකයක් තුළින් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ගෝලීය වශයෙන් තරගකාරී වීමට සහ තිරසාර ආර්ථික වර්ධනයක් ඇති කිරීමට නව තාක්ෂණයන් සහ නව්‍ය විසඳුම් වැළඳ ගත යුතු බව ද පැවසීය.

    එම ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙන්ම ශ්‍රී ලංකාව සැබෑ ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම කෙරෙහි රජය අවධානය යොමුකර තිබෙන බව “DIGIECON 2030” විසින් සහතික කරනු ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.