fbpx
තවත්
    මුල් පිටුවspecialසෝමාලියාවේ නියඟයෙන් 43,000ක් මරුට - අඩක්ම දරුවන්

    සෝමාලියාවේ නියඟයෙන් 43,000ක් මරුට – අඩක්ම දරුවන්

    සෝමාලියාවට බලපා ඇති දරුණු නියඟය හේතුවෙන් පසුගිය වසරේ මිනිසුන් 43,000 ක් පමණ මරණයට පත්ව ඇති බවත් ඉන් අඩක්ම පමණ වයස අවුරුදු 5ට අඩු ළමුන් බවත් එරට රජය සහ එක්සත් ජාතීන්ගේ  නියෝජිතායතනය විසින් නිකුත් කළ වාර්තාවකින් අනාවරණය වෙයි.

    වසර කීපයක පටන් සෝමාලියාවට බලපාන දැඩි නියඟය හේතුවෙන් එරට ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇති අතර, එය මෙම වසරේ එළැඹෙන මාස හයක කාලයේදී තවත් මරණ 18,000 -34,000 ත් අතර සංඛ්‍යාවක් සිදුවිය හැකි බවද පුරෝකථනය කර ඇත.

    දුෂ්කර ප්‍රදේශවල ජීවත්වන ජනතාවගෙන් සහ ලක්ෂ 30ක පමණ ජනතාවක් සිය වාසස්ථාන අත්හැර ගොස් ඇති බැවින් 100%ක් නිවැරදි දත්ත ලබාගැනීමට නොහැකි වී ඇති බවද මෙම මරණ සම්බන්ධයේ දත්ත රැස්කළ සමීක්ෂකයින් පෙන්වා දී තිබේ.

    මේ අතර නියඟයෙන් වැඩිවශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ සොමාලියාවේ බේ, බකූල් සහ බනාදිර් ඇතුළු දකුණු-මධ්‍යම සෝමාලියාවේ ප්‍රදේශ වන අතර එම ප්‍රදේශවල වැඩිම මරණ අනුපාතයක් ඇතැයි අනුමාන කරයි.

    අඛණ්ඩව වැසි සමයන් පහකදිම වර්ෂාව නොලැබීම හේතුවෙන් ලක්ෂ 50ක පමණ ජනතාවට උග්‍ර ආහාර හිඟයකට මුහුණ දී ඇති අතර ළමුන් ලක්ෂ 20කට ආසන්න සංඛ්‍යාවක් මන්දපෝෂණයෙන් පෙළෙන බවටද එක්සත් ජාතීන්ගේ දත්ත වාර්තා  අනාවරණය කරයි.

    ඒ අනුව සෝමාලියාව මේ වනවිට දැඩි ව්‍යවසනයකට පත්ව ඇති අතර, ඊට සහය වීමට ජාත්‍යන්තර සහය දිගින් දිගටම අපෙක්ෂා කරන බවද සහන කණ්ඩායම් පවසයි. පවතින අධික නියඟය හේතුවෙන් වගාබිම් සම්පූර්ණයෙන්ම වියළී ගොස් ඇති බැවින් සියලුම වගා කටයුතු ඇණහිට ඇති බවද සෝමාලියානු මාධ්‍ය සඳහන් කරයි.

    මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් සෝමාලියාව තළ සිතා ගැනීමට නොහැකි ව්‍යසනයක් හා ජීවිත හානි සංඛ්‍යාවක්ද වාර්තා විය හැකිය.

    ඉකුත් දශක කීපය පුරාම මිනිස් ක්‍රියාකාරකම්වලින් පරිසරයට එල්ල වූ  බලපෑම් හේතුවෙන් හටගත් කාලගුණ විපර්යාසයේ ප්‍රතිඵලයක්  ලෙස සොමාලියානු නියඟය හැදින්විය හැකිය. ඒම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වීමක් සිදුවීමට බොහෝ ඉඩ පැවතීම දැඩි කණගාටුදායක තත්ත්වයකි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.