fbpx
තවත්
    මුල් පිටුවspecialශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයෙන් නව වෙබ් අඩවියක්

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශයෙන් නව වෙබ් අඩවියක්

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ඉංජිනේරු අංශය, නඩත්තු සේවා , අලුත්වැඩියා සහ පිරිපහදු සේවා සිදු කිරීමේ (MRO) හැකියාවන් හඳුනාගැනීම සඳහා නව වෙබ් අඩවියක් පසුගියදා එළිදක්වන ලදී.

    www.srilankanengineering.com ලෙස මෙම වෙබ් අඩවිය හඳුන්වා දී තිබේ.

    ගුවන් සමාගමේ තොරතුරු තාක්ෂණ අංශයේ සහාය ඇතිව නිර්මාණය කරන ලද මෙම වෙබ් අඩවිය මඟින් ඉංජිනේරු සේවා සම්බන්ධ තොරතුරු සඳහා සරල ප්‍රවේශයක් ලබාගත හැකි වේ.

    එසේම වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන් සඳහා පහසු වෙන්කරවා ගැනීම් මෙමගින් කරගත හැකිවේ.

    මෙම නව වෙබ් අඩවිය මගින් ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයට කලාපය තුළත් සහ ඉන් පිටතටත් ගුවන් යානා නඩත්තු කටයුතුවල ඉහළ විශ්වසනීය සැපයුම්කරුවෙකු ලෙස කීර්තියක් අත්කර ගත හැකි යැයි අපේක්ෂා කෙරේ.

    ශ්‍රීලංකන් ඉංජිනේරු වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ නවීනතම තාක්‍ෂණික ශිල්පීය ක්‍රම භාවිතයෙන් වන අතර එමගින් උසස් විශේෂාංග සමඟ වඩාත් අන්තර්ක්‍රියාකාරී පරිශීලක අත්දැකීමක් ද ලබාදෙනු ඇත.

    මෙහි ශ්‍රීලංකන් ඉංජිනේරු අංශයෙහි තාක්ෂණික හැකියාවන්, මනාවට පිළිබිඹු වන අතර විවිධ ජාත්‍යන්තර ගුවන් සේවා අධිකාරීන්ගෙන් අනුමැතියන් ද දක්වා තිබේ. නව පාරිභෝගිකයින්ට වෙබ් අඩවිය හරහා අමතර තොරතුරු දැනගැනීමට ශ්‍රීලංකන් ඉංජිනේරු කණ්ඩායම වෙත පහසුවෙන් සම්බන්ධ විය හැක.

    ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය සිය ගනුදෙනුකරුවන් ක්‍රමානුකූලව ව්‍යාප්ත කරමින් සිටින අතර, වෙනත් ප්‍රවර්ධන කටයුතු සමඟින් පසුගිය වසරේ පමණක් නව පාරිභෝගික ගිවිසුම් පහකට එළඹ තිබේ.
    දකුණු ආසියාව, මැදපෙරදිග සහ නැගෙනහිර අප්‍රිකාවේ සිට ආරම්භ වූ පාරිභෝගික ගුවන් සේවා ඔවුන්ගේ ගුවන් යානාවල නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා ශ්‍රී ලංකන් ඉංජිනේරු ආයතනය කෙරෙහි විශ්වාසය තබා ඇත.

    ශ්‍රීලංකන් ඉංජිනේරු අංශය දැන් සිය ගෝලීය පිය සටහන් වර්ධනය කිරීමට සැලසුම් කර ඇති අතර, මෙම වෙබ් අඩවිය ඔවුන්ගේ වෙළඳපල උපාය මාර්ග හඳුනා නොගත් වෙළඳපල වෙත ළඟා වීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇත.

    විදේශීය ගුවන් සේවා සඳහා සිදු කරනු ලබන තෙවන පාර්ශ්ව නඩත්තුව ගුවන් සමාගමට විදේශ මුදල් ගෙන එන අතරම MRO ව්‍යාපාරයේ වර්ධනය රට සඳහා ධනාත්මක පියවරක් වනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.