fbpx
තවත්
    මුල් පිටුවඅනාවරණදැනගෙන කමු අපි පොල් තෙල් !

    දැනගෙන කමු අපි පොල් තෙල් !

    ශ්‍රී ලාංකිකයෝ අනාදිමත් කාලයක සිට පොල්තෙල් ආහාරයට යොදා ගනිති. සියවස් ගණනාවක සිට ආහාරයට යොදා ගන්නා තෙල් වර්ග අතර පොල් තෙල් ඉහලින්ම වැජඹිනි. එහෙත් අද වෙනත් ශාක තෙල් එම ස්ථානය ආක්‍රමණය කර ඇත. පොල්තෙල් වලට සාපේක්ෂව අඩු මිලකට ලබාගත හැකි පාම් තෙල්, පොල්තෙල් සඳහා ප්‍රමුඛතම ආදේශකයක් ලෙස ලංකාව තුළ අධිකව භාවිතා කරනු ලැබේ.

    පොල් කර්මාන්තයේ අධික ඉල්ලුමට සැපයුම නොලැබෙන නිසා ඉහල යන පොල් මිල ගැන කතා කරන විට අපටද පෙනෙන්නේ එලොව පොල් ය. මේ නිසා අද අප වෙළෙඳ පොළෙන් ලබාගන්නා බොහෝමයක් පොල් තෙල්, ව්‍යාපාරිකයන් විසින් චේතනාන්විතව පාම් තෙල් මිශ්‍ර කොට සකසා ගත් පොල් තෙල් වීමත්, අහිංසක පාරිභෝගිකයා නොදැනුවත්වම බාල කරන ලද පොල්තෙල් පරිභෝජනයට ගැනීමට සිදුවීමත් කණගාටුවට කරුණකි.

    එලෙසම නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග වලින් තොරව නිපදවනු ලබන සමහර පොල්තෙල් නිසා අහිංසක පාරිභෝගිකයන් හට අහිතකර සෞඛ්‍යමය බලපෑම් වලට මුහුණපෑමට සිදුවී ඇති බවද කනගාටුවට කරුණකි. පසුගියදා ජනතාව ආන්දෝලනයට පත් කළ ඇෆ්ලාටොක්සින් භීතිකාවද එවැන්නකි. නිසි ලෙස වියලීමට ලක් නොකල (තෙතමනය 6% ට වැඩි) පොල් මදය (කොප්පරා) මත වැඩෙන දිලීර වර්ගයක් වන ඇස්පර්ජිලස් (Aspergillus) කාණ්ඩයේ දිලීර විසින් නිපදවනු ලබන විෂ සහිත සංයෝගයක් වන ඇෆ්ලාටොක්සින් හේතුවෙන් මාරාන්තික සහ පිළිකා කාරක ප්‍රතිවිපාක ඇතිවන බව සමාජගත විය. මේ පුවතින් අහිංසක පාරිභෝගිකයා දැඩි ලෙස වික්ෂිප්ත විය.

    එහෙත් කළ යුතු වන්නේ හොඳින් වියලු කොප්පරා භාවිතයෙන් පොල් තෙල් සකසා ගැනීමයි. විෂ සහිත ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් මනුෂ්‍යය පරිභෝජනයට යොදා නොගෙන විනාශ කිරීම හෝ වෙනත් කර්මාන්ත සඳහා භාවිතා කිරීම කළ යුතු වේ. එනමුත් නිෂ්පාදකයා අවංක විය යුතුය. එසේ නොවන විට පාරිභෝගිකයා අපහසුතාවයට පත්වේ. නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කර ගැනීමෙන් හොඳ තත්වයේ පොල් තෙල් සකසා ගත හැක.

    NERD ආයතනය විසින් හඳුන්වා දෙනු ලැබූ නැවුම් පොල්තෙල් නිස්සාරණය කරන කුඩා යන්ත්‍ර භාවිතයෙන් ගාන ලද පොල් මදය වියලා ගෙන නිවසේදීම උසස් තත්ත්වයේ නැවුම් පොල්තෙල් සකසා ගත හැක. නැවුම් පොල්තෙල් වල ඇති මහඟු ගුණාංග අද ලෝකය පුරාම පිළිගැනීමට ලක්ව ඇත. සාමාන්‍ය පාරිභෝගිකයන් වන අපගේ කාර්යබහුලතාව සහ සම්පත් වල අවමතාවය නිසා වෙළඳපොලේ තිබෙන පොල් තෙල් මිලදී ගැනීමට සිදුවී ඇත.

    මෙනිසා පොල් තෙල් කර්මාන්තය සහ පොල් ආශ්‍රිත කර්මාන්තය නිසි ලෙස නියාමනය සිදු කළ යුතු වෙයි. ශ්‍රී ලංකාවේ පොල් කර්මාන්තය සඳහා වන නියාමන අධිකාරිය පොල් සංවර්ධන අධිකාරියයි. ඔවුන් මෙම කර්තව්‍යය මැනැවින් ඉටු කරනු ලබති. එහෙත් මෙය නිසි පරිදි සිදු වනවාදැයි යන්න පාරිභෝගිකයන් හට පවතින ගැටලුවකි.

    කොප්පරා වලින් මෙන්ම විදේශයන්හි සිට ගෙන එනු ලබන බොර පොල් තෙල් (crude coconut oil) වර්ග පිරිපහදු (refine) කිරීමෙන් මහා පරිමාණ කර්මාන්තකරුවන් විසින් මනුෂ්‍ය පරිභෝජනයට සුදුසු ලෙස පොල්තෙල් සකසනු ලැබේ. ශ්‍රී ලංකාවේ දී පොල්තෙල් ආකාර 3ක් හඳුනාගත හැකිය.නම් වශයෙන් ගත් කළ,

    1. අත් තෙල්
    2. සෙක්කු තෙල්
    3. මෝල් වල හිඳින තෙල් ලෙසයි.[1]

    එහෙත් මෑත කාලීන භාවිතය සහ ජාත්‍යන්තර වර්ගීකරණය අනුව ආකාර 6 කට අධිකය. එනම්,[1]

    1. පිරිසිදු පොල්තෙල් (Pure coconut oil)
    2. පිරිපහදු කළ පොල්තෙල් (Refined coconut oil)
    3. ඓන්ද්‍රීය පොල්තෙල් (Organic coconut oil)
    4. නැවුම් පොල්තෙල් (Virgin coconut oil)
    5. ඓන්ද්‍රීය නැවුම් පොල්තෙල් (Organic virgin coconut oil)
    6. අතිරේක නැවුම් පොල්තෙල් (Extra virgin refined)

    පොල් තෙල් වල 90% ක් පමණම අඩංගු වන්නේ සංතෘප්ත මේදය යි [4]. සන්තෘප්ත මේදය සහ ට්‍රාන්ස් මේදය හෘද රෝග වලට අත වනන බව ඇමරිකාවේ සිදුකළ පර්යේෂණ වලින් ප්‍රකාශිත වීමෙන් අනතුරුව පොල් තෙල් වෙනුවට වෙනත් තෙල් වර්ග භාවිතා කිරීමට ජනතාව යොමුවිය. නමුත් නවතම පර්යේෂණවලින් හඳුනාගෙන ඇත්තේ පොල්තෙල් වල පවතින මධ්‍යම දාම මේද අම්ල වලින් එවැනි සෞඛ්‍යමය හානියක් සිදු නොවන බවයි. කෙටි සහ මධ්‍යම දාම මේද අම්ල ශරීරගත වීමෙන් පසුව එය කුඩා කොටස්වලට බිඳීමෙන් ශක්තිය බවට ඍජුවම පරිවර්තනය වේ. එහෙත් පාම් තෙල්වල ඇති දිගු දාම මේද අම්ල එසේ ජීර්ණයට පත්වීමේ සම්භාවිතාව ඉතා අඩුය. එමෙන්ම, දිගු දාම මේද අම්ල සහ සත්ත්වමය මේද වර්ග ජීර්ණය නොවී ශරීරය තුළ තැන්පත් වනු ඇත. මේ හේතුවෙන් රුධිර නාලිකා සහ ධමනි තුළ ඵලක ලෙස තැන්පත් වීම මගින් හෘදයාබාධ ඇති වනු ඇත.

    පොල්තෙල් වල සුලබතම සංතෘප්ත මේද ආකාරය වන්නේ මධ්‍යම දාම සංතෘප්ත මේද අම්ලයක් වන ලෝරික් අම්ලය යි [1]. එ මගින් දේහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම, ලිපිඩමය කවරයක් ඇති වෛරස වැනි ක්ෂුද්‍ර ජීවීන් විනාශ කිරීම, කොලෙස්ටරෝල් යාමනය, අධිරුධිර පීඩනය සහ හෘද රෝග,දියවැඩියාව සහ වයස්ගතවීමේදී ඇතිවන ඇල්ෂයිමර් තත්ත්වයන් බොහෝදුරට පාලනය කිරීමේ හැකියාව වැනි බහුවිධ සෞඛ්‍යමය වැදගත් කමකින් යුක්තය [1].

    පොල්තෙල් වල ප්‍රධානතම තරගකරුවා වන පාම් තෙල් යනු කටුපොල් ශාකයේ (Elaeis guineeensis) ඵලාවරණයෙන් ලබාගන්නා තෙල් වර්ගයක් වේ. එහි සංතෘප්ත මේද අම්ල 50% ක් පමණ අඩංගු වන අතර, ප්‍රධානතම සංතෘප්ත මේදය වන්නේ දිගු දාම සංතෘප්ත මේද අම්ලයක් වන පාමටික් අම්ලය (44%) යි [1]. පාමටික් අම්ලය ඍජුවම ජීර්ණය නොවන හේතුවෙන් අහිතකර අඩු ඝණත්ව කොලෙස්ටරෝල් මට්ටම වර්ධනය හා රුධිරයට එකතු වී රුධිර නාල වල ඵලක ලෙස තැන්පත් වීමත් සිදුවෙයි. මෙය හෘද රෝගවලට අත වනන්නකි. මෙනිසා පිරිසිදු පොල්තෙල් ආහාරයට ගැනීම පාම්තෙල් ආහාරයට ගැනීමට වඩා නුවණට හුරුය.

    ශ්‍රී ලංකාවේ වසර දහස් ගණනක සිට පොල් සහ පොල් කිරි පරිභෝජනය කරනු ලැබුවෙමු. වසර 1978 දී ඒක පුද්ගල පොල් පරිභෝජනය වසරකට ගෙඩි එකසිය විස්සක් (120) වූ අතර එය වසර1991 වන විට ඒක පුද්ගල ගෙඩි පරිභෝජනය වසරකට පොල් ගෙඩි අනූවක් (90) දක්වා අඩු විය [2]. වසර 1978 දී ලෝකයේ අඩුම හෘද රෝග ප්‍රතිශතය ශ්‍රී ලංකාවෙන් වාර්තා විය [2]. සංතෘප්ත මේදයට එරෙහිව ලොව පුරා ඇතිවූ රැල්ලේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ ද පොල් පරිභෝජනය අඩුවීමට බලපානු ලැබීය.

    එහෙත් මෙහි අනිටු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ තුල වේගයෙන් වර්ධනය වූ හෘද රෝගීන් සංඛ්‍යාව, පොල් පරිභෝජනය පහලයාමත් සමගම අධිකව වැඩිවූ අතර නාගරික ප්‍රදේශවල එය ඉහල අගයක් වාර්තා විය [2]. වසර 1977 දී විවෘත ආර්ථිකය හඳුන්වාදීමෙන් පසුව ශ්‍රී ලාංකික ආහාර පරිභෝජන රටාව වෙනස් වීමත් ජනයාගේ ආතතිමය තත්ත්වය කාලානුරූපීව ඉහල යාමත්, කාර්මීකරණය හේතුවෙන් පරිසර දූෂණය වැඩි වීමත් වැනි විවිධාකාර හේතූන් මෙයට බලපෑ හැකිය.

    පොල්තෙල් සහ පාම් තෙල් වල රසායනික ගුණ

    තෙල් යනු ට්‍රයිග්ලිසරයිඩ හෙවත් එක ග්ලිසරෝල් අනුවකට මේද අම්ල තුනක් සමග එස්ටරීකරණය වීමෙන් සෑදුනු ස්වභාවික ද්‍රව්‍යයකි. තෙල් හෝ මේද වල පවතින මේද අම්ල ප්‍රධාන වශයෙන් සන්තෘප්ත හෝ අසන්තෘප්ත වශයෙන් කොටස් දෙකකට බෙදනු ලැබේ. එනම් කාබන් -කාබන් ද්විත්ව බන්ධන පවතින්නේ නම් අසන්තෘප්ත මේද අම්ල (උදා: ඔලෙයික් අම්ලය C-18:1) ලෙස නාමකරණය කර ඇත. මෙහි C-18 න් කාබන් දාමයේ කාබන් පරමාණු 18ක්ද, :1 මගින් අසන්තෘප්ත කාබන්-කාබන් ද්විත්ව බන්ධයක් පවතින බව දැක්වේ. සංතෘප්ත මේද අම්ල ලෙස සැලකෙන්නේ ද්විත්ව බන්ධන රහිත මේද අම්ලයි (උදා: පාමිටික් අම්ලය C-18:0). සන්තෘප්ත මේද අම්ල යනු කාබන් පරමාණු ඉරට්ටේ සංඛ්‍යාවකින් යුතු සංයෝගයකි.

    මේද අම්ලයේ කාබන් දාමයේ ප්‍රමාණය අනුව කෙටි දාම (C2-C6), මධ්‍යම දාම (C8-C12), සහ දිගු දාම (C14-C24) ලෙස මේද අම්ල නාමකරණය කර ඇත [2]. අසංතෘප්ත මේද අම්ල එහි කාබන්-කාබන් ද්විත්ව බන්ධන සංඛ්‍යාව අනුව ඒක අසංතෘප්ත හෝ මොනොඅන්සැචුරේටඩ් මේද අම්ල (MUFA),බහු අසංතෘප්ත හෝ පොලි අන්සැචුරේටඩ් මේද අම්ල (PUFA) ලෙස වර්ගීකරණය කරනු ලැබේ.

    ඇමරිකානු හෘද සංගමය (American Hearts Association- AHA) පවසන ආකාරයට MUFA සහ PUFA විවිධ අම්ල හෘදයට ඉතා සුදුසු බව ප්‍රකාශයට පත්කර ඇත. එමෙන්ම අසංතෘප්ත මේද වර්ගයක් වන ට්‍රාන්ස් මේදය (trans fat) හෘද සෞඛ්‍යයට අහිතකර සංයෝගයකි.

    එහෙත් පිරිසිදු පොල්තෙල් වල ට්‍රාන්ස් ෆැට් අඩංගු නොවේ. බොහෝ එලවළු තෙල් ( vegetable oil) වල අසන්තෘප්ත මේද අම්ල මෙන්ම ට්‍රාන්ස් ෆැට් අඩංගු වේ. එමෙන්ම කිහිප වතාවක් ගැඹුරු තෙලේ බැදීමේදී බොහෝ එළවළු තෙල් වලින් ට්‍රාන්ස් ෆැට් සෑදීමේ ප්‍රවණතාවයක් ඇත. එයට හේතු වන්නේ ඒවායේ අධිකව අසන්තෘප්ත මේදය පවතින නිසාය. එහෙත් පොල්තෙල් වල බෙහෙවින් පවතින්නේ සංතෘප්ත මේදය නිසා පිරිසිදු පොල්තෙල් කිහිප වරක් ගැඹුරු තෙලේ බැදීම සඳහා භාවිතා කිරීමෙන් සිදුවන සෞඛ්‍යමය හානිය ඉතාම අවමය.

    පොල්තෙල් වල ඇති මේද අම්ල සංයුතිය පහත ආකාරයට වේ [2].

    සංතෘප්ත මේද අම්ල වර්ගසංයුතිය
    Carpralic acid (C-8:0)8%
    Carpric acid (C-10:0)7%
    Lauric acid (C12:0)49%
    Myristic acid (C14:0)8%
    Palmytic acid (C16:0)8%
    Stearic acid (C18:0)2%
    අසංතෘප්ත මේද අම්ල වර්ගසංයුතිය
    Oleic acid (C-18:1)6%
    Linoleic acid (C-18:2)2%

    ලංකාවේදී පොල්තෙල් වල ප්‍රධානතම තරගකරුවා වන්නේ පාම් තෙල් ය. එහි මේද අම්ල සංයුතිය පහත ආකාරයට වේ [3].

    සංතෘප්ත මේද අම්ල වර්ගසංයුතිය
    Palmytic acid (C16:0)44%
    Stearic acid (C18:0)5%
    Myristic acid (C14:0)අංශු මාත්‍ර වශයෙන්
    අසංතෘප්ත මේද අම්ල වර්ගසංයුතිය
    Oleic acid (C-18:1)40%
    Linoleic acid (C-18:2) සහ Linolenic acid (C-18:3)10%

    ඉහත අගයන් වලට අනුව පොල්තෙල් වල මධ්‍යම දාම මේද අම්ල සහ සුළු ප්‍රමාණයක අසංතෘප්ත මේද අම්ල පවතින නිසා පාම් තෙල් වලට වඩා සෞඛ්‍යාරක්ෂිත ය. එමෙන්ම කිහිප වරක් ගැඹුරු තෙලේ බැදීමේ කාර්යයක් සඳහා පාම් තෙල්වලට වඩා පොල් තෙල් භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

    එහෙත් පාම් තෙල් ලෝකයේ වඩාත්ම භාවිතා කරන එළවළු තෙල් වර්ගයයි. එයට හේතුව වන්නේ එහි ඇති විශේෂ ගුණාංග කිහිපයක් වන ඉහල ධූමාංකය (Smoking point- එනම් අඛණ්ඩව හඳුනාගත හැකි දුමක් නැගෙන උෂ්ණත්වය, නොඑසේනම් එම තෙලෙහි තාප ස්ථායි භාවය යි), සංතෘප්ත මේද අම්ල සහ අසංතෘප්ත මේද අම්ලවල මිශ්‍රණයක් වීම යනාදියයි. මෙනිසා පාම් තෙල් සඳහා ආහාරයෙහි සිට විවිධාකාර කාර්මික නිෂ්පාදන සඳහා ද දැඩි ඉල්ලුමක් පවතී. වසර 1995 දී ලෝකයේ පාම් තෙල් නිෂ්පාදනය ටොන් මිලියන 15 ක් වූ අතර එය වසර 2017 දී ටොන් මිලියන 66 ක් දක්වා වර්ධනය විය [4]

    පාම් ඔයිල් ආහාර සඳහා භාවිතය හේතුවෙන් හෘද රෝග සහ ඒ ආශ්‍රිත මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බව රටවල් 23ක සිදු කරන ලද පර්යේෂණවලින් තහවුරු වී ඇත [4]. එමෙන්ම පාම් තෙල් භාවිතා කිරීමේදී රුධිරය තුල හානිකර කොලෙස්ටරෝල් වන LDL ලිපොප්‍රෝටීන ඉහළ යන බව සොයාගෙන ඇත.

    සර 2003 දී ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ලෝක ආහාර සංවිධානය (FAO) විසින් ප්‍රකාශිත ආකාරයට සංතෘප්ත මේද අම්ල හේතුකොට ගෙන හෘදයාබාධ ඇති වීමේ සම්භාවිතාව ඉහළ යන බවත් ට්‍රාන්ස් මේද අම්ල හෘදයට අහිතකර වන බවත්ය. එක්සත් ජනපද හා ආහාර සහ ඖෂධ අධිකාරිය (US FDA) විසින් ට්‍රාන්ස් මේද අම්ල භාවිතය තහනම් කරනුයේ වසර 2015 දී ය [4].

    මෙනිසා ට්‍රාන්ස් මේද අම්ල සඳහා ආදේශකයක් ලෙස පාම් තෙල් භාවිතය ඇමරිකා එක්සත් ජනපදයෙහි වැඩිවිය. ඇමෙරිකානු හෘද සංගමය (AHA) විසින් දිගු දාම සන්තෘප්ත මේද අම්ල සහ ට්‍රාන්ස් මේද අම්ල වලින් සිදුවන සෞඛ්‍යමය හානිය අවම කර ගැනීම සඳහා සංතෘප්ත මේද සහිත ශාක තෙල් භාවිතය අවම කිරීමට උපදෙස් දීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ද අන්ධ භක්තියෙන් යුතුව පොල් තෙල් ආහාරයට ගැනීම අඩු කර ගනු ලැබින. එහි අහිතකර ප්‍රතිඵල සමස්ත ශ්‍රී ලාංකික සමාජය අඩු වැඩි වශයෙන් විඳවනු ලැබේ.

    එහෙත් ඇමරිකානු ආහාරමය තෙල් කර්මාන්තය 1940 දශකයේදී ඇරඹෙන තුරු එහි ප්‍රමුඛතමව පරිභෝජනය කළ ආහාරමය ශාක තෙල් වර්ගය පොල්තෙල් වූ අතර, සන්තෘප්ත මේද විරෝධී ව්‍යාපාරය 1950 දශකයේදී ඇමරිකාවේ මිනසෝටාවේ පර්යේෂකයින් විසින් නිවේදනය කල පරිදි මාගරින් වැනි හයිඩ්‍රජනීකරණය කරන ලද මේද හේතුවෙන් හෘදරෝග ඇතිවන බවට වූ සාධකය සමාජය විසින් සන්තෘප්ත මේද ලෙස වරදවා වටහා ගැනීමක් හරහා ඇතිවිය [2]. මෙම සාධකය විවිධ පාර්ශව විසින් වරදවා තම අනිසි අරමුණෙන් ප්‍රචාර කිරීම පසුගිය අඩසියවස පුරාම සිදුවිය.

    එහෙත් පොල් තෙල් භාවිතයෙන් එවැනි අධික සෞඛ්‍යමය හානියක් නොවන බව නවතම පර්යේෂණවලින් පැහැදිලි කොට ඇත [1,5]. එනම් පොල් තෙල්වල වඩාත් ඇත්තේ මධ්‍යම දාම මේද අම්ල නිසාත් එය ශරීරය තුළ තැන්පත් වීමට නොව ශක්තිය ලෙස දහනය වී ශරීරය තුලදීම ඍජුවම භාවිතයට ගැනෙන මේද අම්ල වර්ගයක් නිසාය.

    කුඩා බඩවැලෙහි දී මධ්‍යම දාම මේද අම්ල සහ මොනොග්ලිසරයිඩ අවශෝෂනය වී ශක්තිය බවට ඍජුවම පරිවර්තනය වේ [2]. පොල්තෙල් වල ඇති විශේෂත්වය වන්නේ හිතකර කොලෙස්ටරෝල් වන HDL ලිපොප්‍රෝටීන ශරීරයට ලබා දීමයි. පොල්තෙල් වල ඇති ලෝරික් අම්ලය විසින් ශරීරයට හිතකර HDL ලිපොප්‍රෝටීන ශරීරයට නිදහස් කිරීමට හේතු වේ. ශාක තෙල් අතර ලෝරික් අම්ලය වැඩියෙන්ම තිබෙන්නේ පොල්තෙල් වල වන අතර ලෝරික් අම්ලය ළදරු ආහාර වට්ටෝරුවල ප්‍රමුඛව භාවිතාවේ [2].

    එම හැකියාව පාම් තෙල්වල ඉතාමත් අඩුය. එනම් දිගු දාම මේද අම්ල සහිත පාම් තෙල්වලින් ශරීරයට අහිතකර LDL ලිපොප්‍රෝටීන ශරීරයට නිදහස් වන නිසාය.

    නිවර්තන කලාපීය තෙල්වර්ග (පොල්තෙල් සහ පාම්තෙල්) සලකා බැලීමේදී පොල්තෙල් භාවිතා කරන්නට රුධිරගත LDL ලිපෝප්‍රෝටින් 10.47 mg/dL කින්ද, රුධිරගත HDL ලිපෝප්‍රෝටින් 4.0 mg/dLකින්ද ඉහල ගොස් ඇති බව නිවර්තන නොවන ශාකතෙල් (ඔලිව් ඔයිල්, සූරියකාන්ත ඇට තෙල්, කැනෝලා තෙල්) වලට සාපේක්ෂව සොයාගෙන ඇත [6]. LDL සහ HDL ලිපෝප්‍රෝටීන් ඉහල දැමීම ඔලිව් සහ කැනෝලා තෙල්වලට සාපේක්ෂව පොල් තෙල් වල පවතින සුවිශේෂී ගුණාංගයකි [7]. එනමුදු හෘදයට හිතකර වෙනත් ලක්ෂණ සහ ප්‍රතිඔක්සිකාරක ගුණාංග සැලකිමේදි පොල්තෙල් වල වැදගත්කම මනාව පෙනීයයි [1,2,6]. පොල්තෙල් වල ඇති විශේෂ ගුණාංග ලෙස පිළිකා සහ දියවැඩියාව වැලැක්වීමේ ගුණාංග හඳුනාගෙන ඇත [1,2].

    පොල්තෙල් වල ඇති මධ්‍යම දාම මේද අම්ල කොලෙස්ටරෝල් සෑදීමේ කාර්යය සහ කොලෙස්ටරෝල් පරිවහනය යන කාර්යයන් සිදුකරමින් හෘදය ආරක්ෂා කිරීමේ කටයුත්තක් සිදුකරයි [2]. මරණ 100,000 කට එක් අයෙකු හෘද රෝගවලින් මියයන ඇමරිකා එක්සත් ජනපදයේ ඉතාමත් සුළු ප්‍රමාණයක් පොල් පරිභෝජනය කරන අතර, ඔවුන් බහු අසන්තෘප්ත මේදය (PUFA) පිලිබඳව වඩාත්ම විශ්වාස කරනු ලැබුවත්, එහි හෘද රෝග හේතුවෙන් වන මරණ අනුපාතිකය පොල් පරිභෝජනය රටවලට සාපේක්ෂව 280 ගුණයකින් ඉහල අගයක් බව සැලකුව මනාය [2].

    සියළුම කරුණු සළකා බැලීමේදී පොල්තෙල් වලට වඩා සාපේක්ෂව පාම් තෙල් ශරීරයට අහිතකර ලෙස නිගමනය කළ හැක. එහෙත් පිරිසුදු පොල් තෙල් භාවිතය වඩාත් සුදුසු වන අතර පාරිභෝගිකයා හට පිරිසිදු පොල්තෙල් ගැනීම සඳහා වූ යාන්ත්‍රණයක් බිහි කිරීම සැමගේ වගකීමයි.

    එහෙත් පාම් තෙල්වලින් තොරවූ ආහාරමය නිෂ්පාදන සිදුකිරීම අපහසුය. එයට හේතු වන්නේ පාම් තෙල් වල වෙළඳපොළෙහි මිළ පොල්තෙල් වලට සාපේක්ෂව ඉතාමත් අඩු වීමත්, ප්‍රමාණාත්මකව ඉහල පාම්තෙල් සැපයුමක් තිබීමත්, පොල්තෙල් වලට වඩා වැදගත් සමහර සුවිශේෂී ගුණ හා ආහාර සඳහා වැදගත්වන වෙනත් ගුණාංග පාම්තෙල් සතුව පැවතීම වැනි හේතුන් නිසාය. නමුත්, ගෘහස්ත පරිභෝජනය සඳහා පිරිසිදු පොල්තෙල් භාවිතයට ගැනීම වඩාත් සුදුසුය.

    ඝර්ම කලාපීය රටවල ආහාර පුරුදු සහ ජීවන රටාව ශීත කලාපීය රටවලට වඩා බෙහෙවින් වෙනස් වන බව අප සිහියේ තබාගත යුතු කරුණකි. මෙම විවිධත්වය මත රටෙන් රටේ ආවේණික ආහාර පුරුදු වසර දහස් ගණනක් තුල පරිනාමය වූ බවත්, විවිධ ආහාර වලට විවිධ ආකාරයෙන් මනුෂ්‍ය ශරීරය ප්‍රතික්‍රියා කරන බවත් මතක තබා ගනිමු.

    මූලාශ්‍ර

    [1] වඩා හොඳ පොල්තෙල් ද නැත්නම් එළවළු තෙල්ද? Food Science and Technology Association USJP by Aruna Prasad, Facebook post (2009 September 25)

    [2] Boateng L., et.al (2016) Coconut oil and palm oil’s role in nutrition, health, and national development: A review., GhanA Med J:50(3), 189-196

    [3] Montoyo et.al (2014) Genetic architecture of palm oil fatty acid composition in cultivated oil palm (Elaeis guineesis Jacq), PLoS One: 9(5): e95412. doi: 10.1371/journal.pone.0095412

    [4] Kadandale S et.al, (2018) The palm oil industry and noncommunicable diseases., Bulletin of the World Health Organization doi:10.2471/BLT.18.220434 [5] Willet W.C. (2018) Ask the doctor: coconut oil and health. Harward health letter.

    [6] Neelakanthan N. et.al (2020) The effect of coconut oil consumption on cardiovascular risk factors- A systematic review and meta-analysis of clinical trials. Circulation: 141, 803-814. doi:10.1161/CIRCULATIONAHA.119.043052

    [7] Do not get tricked by these 3 heart-health myths-Mayo Clinic https://www.mayoclinic.org

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම
    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.