fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආණ්ඩුකාරගේ තීරණයක් නිසා කොළඹ මහනගර සභාවට කෝටි 19ක පාඩුවක්

    ආණ්ඩුකාරගේ තීරණයක් නිසා කොළඹ මහනගර සභාවට කෝටි 19ක පාඩුවක්

    කොළඹ නගර ශාලාවේ අලුතින් ඉදිකරමින් වූ ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු අත්හිටුවීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා නියෝග කර තිබූ අතර එම නිසා මහනගර සභාවට රුපියල් කෝටි 19කට අධික මූල්‍ය පාඩුවක් සිදුවී ඇතැයි කොළඹ නගරයෙහි සංවර්ධන කටයුතු පවත්වාගෙන යාම වැළැක්වීම පිළිබඳ සිදුකළ විමර්ශනයක් මගින් අනාවරණය කර තිබේ.

    බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඉකුත් 2021 වසරේ ජුලි මාසයේදී එම ගොඩනැගිලි ව්‍යාපෘති අත්හිටුවීමට නියෝග කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවද එම විමර්ශන වාර්තාවේ සඳහන් වේ.

    පළාත් පාලන ආයතන සතු බලතල අහිමි කිරීම කළ නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද තීරණය කර ඇති බව ද එහෙත් ආණ්ඩුකාරවරයා එම නීතිය උල්ලංඝනය කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

    කොළඹ මහනගර සභාව සපිරි පියස නමින් නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට ආරම්භ කර තිබූ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා එය අත්හිටුවීමට නියෝග කර තිබේ.

    කොළඹ මහ නගර සභා ගොඩනැගිල්ල වසර සියයකට වඩා පැරණි පුරාවිද්‍යාත්මක ගොඩනැගිල්ලක් බවත් නව ඉදිකිරීම්වලින් ඊට හානි විය හැකි බව බවත් සඳහන් කරමින් එම නියෝගය නිකුත් කර තිබේ.

    එහෙත් මහ නගර සභා ගොඩනැගිල්ලට වසර සියයක් නොමැති බවත් එය පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ගොඩනැඟිල්ලක් ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නම් කර නැති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

    කෙසේ වෙතත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය හේතුවෙන් ඉදිකිරීම් මාස හතරකින් පමාවී ඇති අතර එම නිසා රුපියල් කෝටි 19 කට අධික මූල්‍ය පාඩුවක් සිදුවී ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.