fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇඹිලිපිටිය උසාවියේ නඩු භාණ්ඩ හොරකම් ඉහළට

    ඇඹිලිපිටිය උසාවියේ නඩු භාණ්ඩ හොරකම් ඉහළට

    ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියේ නඩු භාණ්ඩ ලෙස තිබුණු තවත් යතුරු පැදියක් සොරාගෙන ගොස් ඇති බවට ඇඹිලිපිටිය අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් පසුගිය 03 වෙනිදා ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.

    මෙම පැමිණිල්ලත් සමඟ මේ වන විට ඇඹිලිපිටිය අධිකරණය භාරයේ නඩු භාණ්ඩ ලෙස තිබුණු යතුරුපැදි 04ක් සොරාගැනීමට ලක්ව ඇත.

    පසුගිය පෙබරවාරි 01 වෙනිදා එක් යතුරුපැදි දෙකක් සොරා ගැනීමක ගැනද, ජනවාරි 13 වෙනිදා එක් යතුරු පැදියක් සොරා ගැනීමක් ගැනද අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය විසින් පොලීසියට මෙයට පෙර පැමිණිලි ඉදිරිපත්කර තිබුණි.

    මෙම යතුරුපැදිවලින් එකක් අධිකරණය මගින් වෙන්දේසි කිරීමට සූදානම්කර තිබූ ඒවා බව පොලීසිය කියයි. සෙසු දෙක නඩු කටයුතු අවසන්ව හිමිකරුවන්ට නිදහස් කිරීමට තිබූ ඒවා බවද පොලීසිය කියයි. යතුරුපැදිවල හිමිකරුවන් සිය යතුරු පැදි අධිකරණයෙන් නිදහස් කර ගැනීමට පැමිණි විට එම යතුරුපැදි දෙක සොරා ගැනීමට ලක්ව ඇති බව හෙළිවී තිබේ. ඒ අනුව ඒ ගැන පැමිණිල්ල පොලීසියට ලැබී තිබේ. පසුගිය 03 වෙනිදා පැමිණිල්ලට අදාල සොරා ගැනීමට ලක්ව ඇති යතුරුපැදිය වන්නේ මොපෙඩ් වර්ගයේ ලියාපදිංචි නොකල යතුරු පැදියකි.

    ඇඹිලිපිටිය අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබුණු ගොඩකවෙල පොලීසිය විසින් 2005 වසරේදී ඉදිරිපත්කර ඇති ටී 56 ගිනි අවියක් අතුරුදන්වීමක් සම්බන්ධයෙන්ද පසුගිය දිනක ඇඹිලිපිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබුණු බවත් එම පැමිණිල්ල භාගෙට සටහන්කර ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    පවතින මෙම තත්ත්වය මත අධිකරණයේ නඩු භාණ්ඩ සම්බන්ධයෙන් වෝහාරික පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලීමක් ඇඹිලිපිටිය කොට්ඨාශයභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාාරී සුදත් මාසිංහ මහතා විසින් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියගෙන් ලිඛිතව ඉල්ලා ඇති බවද පොලිස් තොරතුරු සඳහන් කළේය.

    මෙම යතුරු පැදි දෙක පසුගිය වසරේ ඔක්තෝබර් 17 වෙනිදා කළ පරීක්ෂාවකදී අධිකරණ භූමියේ තිබී ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. ඒ අනුව මෙම සොරකම ඔක්තෝබර් 17 වෙනිදායින් පසුව සිදුව ඇති බව පොලීසිය සැකකරයි.

    ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණ භූමියට ඇතුළු වීමට හා පිටවීමට දොරටු දෙකක් ඇති බවත් පැය 24 පුරාම මුරකරුවන් මෙන්ම පොලිස් නිලධාරීන්ද රාජකාරියට යොදවා ඇති බව මෙම සොරකම් සම්බන්ධයෙන් කළ විමසුමකදී ඇඹිලිපිටිය කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා සඳහන් කළේය. එසේ තිබියදී මෙහි ඇති නඩු භාණ්ඩ පිටස්තර කිසිවෙකුටත් පහසුවෙන් රැගෙන යා නොහැකි බැවින් මේ ගැන පුළුල් විමර්ශනයක් කළයුතුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.