fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන රොකට්ටුව කඩාවැටෙන අවදානම් කලාපයේ ශ්‍රී ලංකාවත්!

    චීන රොකට්ටුව කඩාවැටෙන අවදානම් කලාපයේ ශ්‍රී ලංකාවත්!

    චීනය විසින් අභ්‍යවකාශ ගත කරන දැවැන්ත රොකොට්ටුවක කොටසක් පාලනයකින් තොරව මේ සතිඅන්තයේ කඩා වැටෙනු ඇති අතර එම අවදානම් කලාපයේ ශ්‍රී ලංකාව ද පිහිටා ඇති බවත් විද්‍යාඥයෝ අනතුරු අඟවා තිබේ.

    එය මේ වන විට රේඩාර් ඔස්සේ සමීපව අධීක්ෂණය කෙරෙමින් පවතී.

    පසුගිය මාසයේ චීනයේ නව අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පළමු මොඩියුලය දියත් කරවීම සඳහා ලෝන්ග් මාර්ච් -5 බී මූලික අදියර භාවිතා කරන ලදී.

    නමුත් රොකට් කොටස නැවත පැමිණීම පාලනයකින් තොරව සිදු වන්නක් බැවින් ඒ කඩා වැටෙන ස්ථානය නිශ්චිතව ගණනය කළ නොහැකි බව විද්‍යාඥයන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

    එය ටොන් 22 ක් පමණ බරකින් යුක්ත වන අතර එය දශක ගණනාවකට පසු පෘථිවි වායුගෝලයට එන විශාලතම අභ්‍යවකාශ සුන්බුන් වලින් එකකි.

    පෘථිවි මතුපිටින් වැඩි ප්‍රමාණයක් සාගරයෙන් වැසී ඇති නිසාත්, භූමිය වන කොටසෙහි ජනාවාස නොවූ විශාල ප්‍රදේශ ඇතුළත් වන නිසාත්, ඕනෑම කෙනෙකුට අභ්‍යවකාශ කුණු ගොඩකට හසු වීමේ සම්භාවිතාව ඉතා කුඩා බව විද්‍යාඥයෝ පෙන්වා දී තිබේ.

    එහෙත් මෙම මෙම රොකට් කොටස වැටීමේ කලාපය ලෙස අනුමාන කෙරෙන කලාපයට ශ්‍රී ලංකාව ද අයත් වේ. එහෙත් රේඩාර් ඔස්සේ ලැබෙන නව තොරතුරු සමග එම කලාපය වෙනස් වීමේ සම්භාවිතාවක් ද ඇත.

    රොකට් කොටසේ ගමන් මඟ තව දුරටත් සීමා කර ඇත. එය අංශක 41.5 ක් පමණ සමකයට නැඹුරු වේ. මෙයින් අදහස් කරන්නේ උතුරු අක්ෂාංශ අංශක 41.5 ට වඩා උතුරට හා දකුණු අක්ෂාංශ අංශක 41.5 ට වඩා දකුණට ඕනෑම ප්‍රදේශයකට රොකට් සුන්බුන් වැටිය හැකි බවයි.

    2020 මැයි 5 වනදා දියත් කළ මුල්ම Long March 5B රොකට්ටුවේ පළමු අදියරත් මේ ලෙසින්ම පාලනයකින් තොරව පෘථිවියට කඩාගෙන වැටී තිබුණි. එය දින කිහිපයක් පහළ කක්ෂයක තිබී අප්‍රිකානු මහද්වීපයට බටහිර දෙසින් පෘථිවි වායුගෝලයට ඇතුළු විය.

    එයින් ද ඉතිරි වූ කොටස්, වායුගෝලයට ඇතුළු වූ ස්ථානයේ සිට කිලෝමීටර් 2,100 ක් දුරින් පොළොවට කඩා වැටී ඇත. අයිවරි කෝස්ට් රාජ්‍යයේ මොහවුනූ ගම්මානයට මෙම කොටස් වැටී තිබේ. ජීවිත හානි වාර්තා නොවුනත් දේපළ හානි පිළිබඳව වාර්තා වී ඇත.

    යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය පැවසුවේ පසුගිය දශකය තුළ දළ වශයෙන් චන්ද්‍රිකා 100 ක් සහ රොකට් කොටස් සෑම වසරකම වායුගෝලයට නැවත ඇතුළු වී ඇති බවය. වාර්ෂිකව එලෙස වායුගෝලයට ඇතුළුවන රොකට් සුන්බුන් වල ස්කන්ධය ටොන් 150 ක් පමණ වන බව එම ඒජන්සිය පවසා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.