fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාරඅවසාන කෙරේ

    අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව වාරඅවසාන කෙරේ

    අද(27) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුවේ වාර අවසාන කෙරෙන ගැසට් නිවේදනය මුද්‍රණයට සූදානමින් සිටින බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය පවසයි.

    පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම සදහා වන නියෝගය ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලබයි.

    අතිවිශේෂ ගැසට් අංක 2316/48 යටතේ නිකුත් කරන මෙම ගැසට් නිවේදනය මගින් පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ වන දිනය ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

    පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමක් යනු තාවකාලික විරාමයක් ලබා ගැනීමයි. එම විරාමය මාස තුනකට වඩා දීර්ඝ නොකළ යුතුය.

    වාරාවසාන කිරීමක් අතරතුරදී, කථානායකවරයා අඛණ්ඩව සිය කාර්යයන් ඉටුකරන අතර මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගි නොවූවද ඔවුන් සිය ධූරයේ රැඳී සිටී.

    වාරාවසාන කිරීමක බලපෑම වන්නේ පාර්ලිමේන්තුවට ඉටුකිරීමට ඇති සියලු කටයුතු අත්හිටුවීම සහ දෝෂාභියෝග හැර ඒ වනවිට සභාවේ ඇති සියලු ක්‍රියාවලි අවලංගු වීමයි.

    එකම කරුණ හා සම්බන්ධ පනත් කෙටුම්පතක්, යෝජනාවක් හෝ ප්‍රශ්නයක් එම සැසිවාරය තුළම දෙවැනි වතාවට ඉදිරිපත් කළ නොහැකිය. කෙසේ වෙතත්, එය වාරාවසාන කිරීමකින් අනතුරුව එළැ‌ඹෙන සැසිවාරය දක්වා ගෙනයා හැකිය.

    නව සැසිවාරයක් ආරම්භ කිරීමේ දී තේරීම් කාරක සභාව පත් කළ යුතු ය.

    විශේෂ කාර්යයන් සඳහා වන පහත සඳහන් සියලු කාරක සභා පාර්ලිමේන්තුවේ විරාම කාලය හෝ වාර අවසන් කිරීමකදී අහෝසි වේ.

    උසස් නිලතල පිළිබඳ කාරක සභාව, ආංශික අධීක්ෂණ කාරක සභා සහ පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභා හැර අන් සියල්ල පාර්ලිමේන්තුවේ සැසිවාරය නැවත ආරම්භ වන අවස්ථාවේ නැවත ස්ථාපිත කළ යුතු ය.

    ඒවා මෙසේ ය.

    . පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
    . ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
    . ගෘහ්‍ය කාරක සභාව
    . ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
    . ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව
    . අමාත්‍යංශයීය උපදේශක කාරක සභා
    . රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
    . පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
    . රජයේ මුදල් පිළිබඳ කාරක සභාව
    . මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
    . පසුපෙළ මන්ත්‍රීන්ගේ කාරක සභාව

    නියෝජ්‍ය කථානායකවරයාගේ හෝ නියෝජ්‍ය කථානායකවරයා පැමිණ නොසිටින අවස්ථාවක දී , නි‍යෝජ්‍ය කාරක සභා සභාපතිවරයාගේ ඉල්ලීම මත කාරක සභාවල තාවකාලික සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීමට මන්ත්‍රීවරයන් සිවු දෙනෙකුට නොඅඩු ගණනකින් සමන්විත සභාපති නාමාවලියක් සෑම සභාවාරයක් ආරම්භයේ දීම කථානායකවරයා විසින් නම් කරනු ලැබිය යුතු ය.

    පාර්ලිමේන්තුව වාරඅවසාන කිරීමක් අවසානයේ දී නව සැසිවාරය ආරම්භ කිරීම ජනාධිපතිවරයා විසින් උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබේ.

    පාර්ලිමේන්තුවේ එක් එක් සැසිවාරය ආරම්භයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කිරිමටත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමටත් ජනාධිපතිවරයාට බලතල ඇත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.