fbpx
තවත්
    මුල් පිටුවspecialලෝක විනාශයට තවත් ළංවෙයි- මැදියම් රැයට තත්පර 90යි

    ලෝක විනාශයට තවත් ළංවෙයි- මැදියම් රැයට තත්පර 90යි

    ලෝකයේ අවසානයට වෙන කවරදාටත් වඩා වේගයෙන් මිනිසා ළඟාවී ඇති බව ලෝකඅවසාන ඔරලෝසුවේ (Doomsday Clock) සටහන් වී තිබේ.

    ඒ අනුව ලෝකඅවසාන ඔරලෝසුවේ මධ්‍යම රාත්‍රියට එළැඹීමට ඇත්තේ තත්පර 90 ක් පමණක් බව පරමාණුක විද්‍යාඥයින්ගේ බුලටිනය නිවේදනය කර ඇත.

    2023 වසරට පා තැබීමත් සමඟ මෙම ලෝකඅවසාන ඔරලෝසුව මෙලෙස වෙලාව දක්වා ඇත්තේ පසුගිය වසර තුනට වඩා තත්පර 10ක් වේගවත් ලෙස සමීප වෙමිනි. එය ඉතා අහිතකර තත්ත්වයක් බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

    ලෝකඅවසාන ඔරලෝසුවේ මධ්‍යම රාත්‍රිය, විනාශයේ න්‍යායික ලක්ෂ්‍යය සලකුණු කරයි.

    ලෝකයේ පැවැත්මට පවතින තර්ජන පිළිබඳ නිශ්චිත වේලාවක දී විද්‍යාඥයින්ගේ කියවීම මත පදනම්ව මෙම ලෝකඅවසාන ඔරලෝසුවේ කටු, මධ්‍යම රාත්‍රියේ සිට ආසන්න හෝ ඈතට ගෙනයනු ලැබේ.

    යුක්රේන-රුසියා යුද්ධය, ලෝකඅවසාන ඔරලෝසුවේ වෙලාව වඩා වේගවත් කිරීමට ප්‍රබල හේතුවක් වී ඇති බව ඔවුහු පෙන්වා දෙති.

    මිනිසා විසින් කරනු ලබන ක්‍රියාකාරකම් හේතුවෙන් මානව වර්ගයා ලෝකාන්තයට කෙතරම් සමීප වී ඇත්ද යන්න පිළිබඳ මෙම ‘ලෝකඅවසාන ඔරලෝසුව’ නිරූපණය කරයි.

    මෙය සකස් කරනු ලබන්නේ ලොව පුරා විසිරී සිටින නොබෙල් ත්‍යාගලාභීන් 10 දෙනකු සහිත වි‍ද්‍යාඥයන් මණ්ඩලය, විද්‍යා හා ආරක්ෂක මණ්ඩලය සමඟ සාකච්ඡා කොට, පරමාණුක විද්‍යාඥයින්ගේ බුලටිනය විසිනි.

    මිනිසාගේ තාක්ෂණයන්, ක්‍රියාකාරකම් නිසාම මිනිසාගේ අවසානයට කොතරම් ළඟාවී ඇත්ද යන්න දක්වන මෙම ඔරලෝසුව වාර්ෂිකව යාවත්කාලීන කරනු ලබයි.

    ලෝකඅවසාන ඔරලෝසුවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රියට දැන් ඇත්තේ තත්පර 90 ක් පමණක් වන අතර එය මෙතෙක් සිදු වූ ගෝලීය ව්‍යසනයට ආසන්නම තත්ත්වයක් හුවාදක්වයි.

    ‘ලෝකඅවසාන ඔරලෝසුවේ’ කටු ඉදිරියට ගෙන යාමේ තීරණයේ ප්‍රධාන සාධකයක් වන න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට මොස්කව් සූදානම් විය හැකි බවට, ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ අනෙකුත් රුසියානු දේශපාලඥයින් විසින් පුන පුනා කරන ලද අනතුරු ඇඟවීම් ගැන ද මෙම වේලාව පිළිබඳ ලෝකයට දැන්වීමේ ප්‍රකාශයේදී බුලටිනයේ ප්‍රධානියා උපුටා දැක්වීය.

    1945 දී මෑන්හැටන් ව්‍යාපෘතියේ පළමු පරමාණුක අවි නිපදවීමට සහය වූ විද්‍යාඥයින් වන ඇල්බට් අයින්ස්ටයින් සහ චිකාගෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින්ගෙන් සමන්විතව, පරමාණුක විද්‍යාඥයින්ගේ බුලටිනය විසින් 1947 දී ලෝකඅවසාන ඔරලෝසුව නිර්මාණය කර ඇත.

    2023.01.24 වැනිදා DOOMSDAY CLOCK හි මධ්‍යම රාත්‍රියට ඇත්තේ තවත් තත්පර 90ක් පමණක් බවට ප්‍රකාශයට පත්කළ අවස්ථාව

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.