fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැකොස සාමාජිකයකු ඉවත් වූ නිසා ඡන්දෙ කරන්න බැරිවෙයිද?

    මැකොස සාමාජිකයකු ඉවත් වූ නිසා ඡන්දෙ කරන්න බැරිවෙයිද?

    ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ (NEC) සාමාජිකයකු ඉල්ලා අස්වූ පසුබිමකදී එමඟින්, ඉදිරියේදී පැවැත්වීමට සැලසුම් කර ඇති පළාත් පාලන මැතිවරණයේ කටයුතුවලට බලපෑමක් නොවන බව හිටපු මැතිවරණ කොමසාරිස්, ජාතික සීමා නිර්ණ කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් තිදෙනාගෙන් අයකු වන පී.එස්.එම්. චාල්ස් මහත්මිය ඊයේ පස්වරුවේ ඉල්ලා අස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇතැයි වාර්තා විය.

    එක් සාමාජිකයකු මෙලෙස ඉල්ලා අස්වීමත් සමඟ මැතිවරණ කොමිෂන් සභාවට සිය කටයුතු පවත්වාගෙන යාමට අසීරු බවටත්, ඉල්ලා අස්වීම පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීමට හේතු විය හැකි බවටත් හේතුවූ බැවින් සමාජයේ මත පළවීම නිසා සභාපතිවරයා මෙම පැහැදිලි කිරීම කර තිබේ.

    හිටපු මැතිවරණ කොමසාරිස්වරයා එහි නීතිමය පසුබිම පැහැදිලි කර තිබුණේ මෙසේ ය.

    “ඉල්ලා අස්වීම් නිසා මැකොස අඩපන වේවිද , මෙයට පිළිතුර ‘නැත’ යන්න බව හා කොමිෂන් සභාව ක්‍රියාත්මක වීමට තිදෙනකු ඇති බව මෙයට පෙර පෝස්ටුවක සටහන් කළෙමි. නැවත නැවත බොහෝ දෙනකු විමසන මේ පැනයට පිළිතුරු ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ව්‍යවස්ථාව එහි කමෙන්ටුවක් ලෙසද පලකළෙමි

    එය නැවත පහත උපුටා දක්වමි.

    104.(1). කොමිෂන් සභාවේ රැස්වීමක් සඳහා ගණපූරණය සාමාජිකයන් තිදෙනෙකුගෙන් සමන්විත විය යුත්තේය.
    (2) (අ) කොමිෂන් සභාවෙි සභාපතිවරයා කොමිෂන් සභාවෙි රැස්වීම්වල මුලසුන දැරිය යුත්තේය. සභාපතිවරයා කොමිෂන් සභාවේ යම් රැස්වීමකට පැමිණ නොසිටියහොත් පැමිණ සිටින සාමාජිකයන් විසින් ඔවුන් අතුරෙන් තෝරා පත්කර ගන්නා සාමාජිකයකු විසින් ඒ රැස්වීමේ මුලසුන දැරිය යුත්තේය .
    (ආ) කොමිෂන් සභාවේ තීරණ ,ඒ ඒ තීරණ ගනු ලබන රැස්වීමට පැමිණ ඡන්දය දෙන්නා වූ සාමාජිකයන්ගේ බහුතර ඡන්දයෙන් ගනු ලැබිය යුතු අතර, යම් හෙයකින් සම සමව ඡන්දය ලැබුණු අවස්ථාවකදී ඒ රැස්වීමේ සභාපතිවරයාට තීරක ඡන්දයක් තිබිය යුත්තේය .
    (3) කොමිෂන් සභාවේ සාමාජිකත්වයේ යම් පුරප්පාඩුවක් තිබුණද, ඒ නොතකා ක්‍රියාකිරීමට කොමිෂන් සභාවට බලය ඇත්තේය. එවැනි පුරප්පාඩුවක් තිබූ පමණින්ම හෝ යම් සාමාජිකයකු පත්කිරීමෙහි ලා දෝෂයක් තිබූ පමණින් ම, කොමිෂන් සභාවේ යම් ක්‍රියාවක් හෝ කටයුත්තක් හෝ තීරණයක් නිර්බල නොවන්නේය. නිර්බල වන්නේයයි නොසැලකිය යුත්තේය.”

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.