fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුසියානුවන්ගේ ලක්ෂ 60කට වැඩේ දුන් සංචාරක හෝටල් හිමිකරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

    රුසියානුවන්ගේ ලක්ෂ 60කට වැඩේ දුන් සංචාරක හෝටල් හිමිකරු ඇතුළු පිරිසක් අත්අඩංගුවට

    උණවටුන යද්දහිමුල්ල පාරේ පිහිටි වෝටර්ගේට් හෝටලයේ නවාතැන් ගෙන සිටි රුසියානු ජාතික සංචාරක තරුණියන් තිදෙනෙකුගේ රුපියල් ලක්ෂ 60ක් පමණ වටිනා විදෙස් මුදල් තොගයක් සොරාගැනීමක් සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු, ඔහුගේ පුතා සහ ගණකාධිකාරීවරයාව උණවටුන සංචාරක පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ (17) අත්අඩංගුවට ගන්නා ලදි.

    මෙම සොරකමට හෝටලයේ කළමනාකාරුද සම්බන්ධ බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඔහු පළාගොස් සැඟවී සිටින බැවින් අත්අඩංගුවට ගැනීමට විමර්ශන පැවැත්වෙන බවත් දකුණු පළාත්භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මහතා පැවසීය.

    මෙම රුසියානු තරුණියන් හෝටලයෙන් පිටතට ගොස් සිටියදී ඔවුන් තිදෙනා රැදී සිටි කාමර අමතර යතුරුවලින් විවෘතකර ඊට ඇතුළු වී කාමරවල ඇති කුඩා සේප්පුනග අගුල්ද අමතර යතුරුවලින් විවිරකර ඒ තුළ තිබුණු මුදල් මෙසේ ඔවුන් සොරාගෙන ඇති බව අජිත් රෝහණ මහතා කීය.

    සේප්පුවල රන් භාණ්ඩ මෙන්ම මුදල් විශාල වශයෙන් තිබී ඇතත් සොරා ගෙන ඇත්තේ මුදල් වලින් කොටසක් පමණක් බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මෙසේ මුදල් වලින් කොටසක් පමණක් සොරා ගැනෙන්නේ සොරකමක් සිදුවූ බවට සැකයක් ඇති නොවන ලෙසට බව ද පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    මෙම හෝටලයේ නවාතැන් ගන්නා විදේශිකයන්ගේ කාමරවල ට හොර රහසේ ඇතුළු වී මෙසේ සේප්පුවල ඇති මුදල් සොරා ගැනීම් එහි හිමිකරු ඇතුළු පිරිස පුරුද්දක් ලෙස කරගෙන ගොස් ඇති බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය. මේ අයගේ ඉලක්කය බවට පත්වන්නේ මෙරට සංචාරය නිමවා නැවත සිය රට ඉලා යාමට දිනක් පමණක් ඉතිරිව සිටින සංචාරකයන් බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    “ මෙරට සංචාරය සඳහා පැමිණෙන සංචාරකයන් අවසාන මොහොත දක්වාම සිය කාලය සංචාරය සඳහා යොදවනවා. අද සවස ඒ අය සිය මව් බිමට හෝ වෙනත් රටක සංචාරය කිරීමට යන්න ගුවන් ගත වන්නට නියමිත නම් ඒ අය හෝටලයෙන් පිටව යන්නේ අවසාන මොහොත දක්වාම සංචාරයේ නිරත වීමෙනුයි. ගුවන් යානය ඇති වේලාව හෝටලයෙන් පිටව යන වේලාව ආදීය මෙම හෝටලයේ හිමිකරු ඇතුළු පිරිස මේ අයගේ හෝටලයේ නවාතැන් ගෙන සිටින සංචාරකයන්ගෙන් අසා දැන ගෙන ඉලක්කකරන්නේ එම සංචාරකයන්වයි. සල්ලි වලින් කොටසක් විතරක් සොරා ගන්නේ අන්තිම මොහොතේ ඒ අය පිටව යන කොට සේප්පුව ගැන තියෙන විශ්වාසය නිසා සල්ලි ගණන් කරන්න යන්නේ නැති නිසයි. ඒ වගේම තමයි අන්තිම මොහොතේ මෙවැනි දෙයක් අනාවරණය වුනත් පොලීසි ගානේ රස්තියාදුවෙන්න ඒ අයට වෙලාවක් නැති නිසා පාඩුව විද දරාගෙන රටින් පිටව යනවා. මේ තුළින් සිදුවන්නේ රටට අපකීර්තියක්. ඒ ගැන තැකීමක් නොමැතිවයි මේ අය හැසිරිලා තියෙන්නේ“ යැයිද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය.

    මෙම සොරකම් සිදුකරන විට හෝටලයේ ආරක්ෂක කැමරා පද්ධතිය පවා හෝටල් කළමනාකාරීත්වය විසින් අක්‍රියකරන බවත් සොරකමින් පසු එය නැවත ක්‍රියාත්මක කරන බවත් විමර්ශන වලින් හෙළිවී තිබේ.

    ද මෙම හෝටලයේ නවාතැන් ගෙන සිටි රුසියානු කාන්තාවන් තිදෙනෙක් නවාතැන් ගෙන සිටි කාමර තුන විවෘතකර එහි වූ සේප්පු විවරකර ඒ තුළ වූ රුපියල් ලක්ෂ 60ක් පමණ වන විදෙස් මුදල් තොගයක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් ගැන කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස මෙම වංචා සහගත ක්‍රියාව හෙළිකර ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

    එම රුසියානු තරුණියන් තිදෙනා 01 වෙනිදා මෙරටින් පිටව යාමට නියමිතව සිටි අයවේ. ඔවුන් හෝටලයෙන් පිටතට ගොස් සිටියදී මෙම සොරකම සිදුව ඇත. එහිදී එක් තරුණියක් හෝටල් කාමරයට පැමිණ සේප්පුව විවෘතකර බැලීමේදී මුදල්වල අඩුවක් සිදුව ඇති බව දැනගෙන කෑගසා ඇති බවත් ඇගේ කෑගැසීම් හේතුවෙන් සෙසු රුසියානු කාන්තාවන්ද සේප්පු පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේද කාමරවල සේප්පුවල තිබුණු මුදල් අඩුවී ඇති බව අනාවරණය වී ඇත. එම සංචාරක කතුන් මේ ගැන උණවටුන සංචාරක පොලීසියට කළ දැනුම් දීමකට අනුව හබරාදූව පොලීසිය එහි ගොස් ඒ සම්බන්ධයෙන් පැමිණිලි සටහන්කර ගැනීමෙන් පසු මෙම සොරකම් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.

    එම විමර්ශන වලින් පැහැදිලිවම හෙළිවන්නේ කාමරවල් යතුරු වලින්ම විවරකර මින් මෙම සොරකම සිදුකර ඇති බවය. සේප්පු දෙකක සොරාගත් මුදල් වලට වඩා වැඩි වටිනාකම් ඇති රන් භාණ්ඩ තිබී ඇතත් ඒවා සොරකම් නොකර මුදල් පමණක් සොරා ගැනිම හේතුවෙන් පොලීසිය සැකකර ඇත්තේ සොරකම හෝටලය ඇතුලේම වැඩත් බවය. ආරක්ෂක කැමරා පද්ධතියද එම සොරකම සිදුව ඇති කාලසීමාව තුළ අක්‍රියව තිබීම හේතුවෙන් සැකය වඩාත් තහවුරු වීමෙන් පසු කළ දිර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. ඒ සදහා ඇගිලි සලකුණු විමර්ශන අංශයෙන්ද අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ නිලධාරීන්ගෙන්ද විශාල සහයක් විමර්ශන කණ්ඩායම් වෙත ලැබී තිබේ

    මෙම හෝටලයේ නවාතැන් ගැනීමට රුසියානු තරුණියන් පැමිණ ඇත්තේ සොරකම සිදුවීමට දින කිහිපයකට පෙර බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත. මෙම රුසියානුවන් තිදෙනා මෙදින උණවටුන වෙරළ තීරයට ගොස් සිටියදී පෙරවරු 10.00ත් සවස 2.30ත් අතර කාලය තුළ සොරකම සිදුව තිබෙන බව මේ ද විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    KHUSHI NATALIYA නැමැති 48 හැවිරිදි රුසියානු කාන්තාව පොලීසියට පැමිණිලිකර ඇත්තේ හෝටල් කාමරයේ ඇති සේප්පුවේ තැන්පත්කර තිබුණු අමෙරිකානු ඩොලර් 10,000ක් සොරාගෙන ඇති බවය. එම මුදල ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 37ක් පමණ වටිනා බව පොලීසිය කියයි.

    POLIAKOV RAVA නැමැති 45 හැවිරිදි රුසියානු කාන්තාව පොලීසියට පැමිණිලිකර ඇත්තේ කාමරයේ සේප්පුව තුළ තිබුණු අමෙරිකානු ඩොලර් 2,800ක් සහ රුසියානු රූබල් 95,000ක් සොරකම්කර ඇති බවය. ශ්‍රී ලංකා මුදල් වලින් එහි වටිනාකම රුපියල් හයලක්ෂ තිස්එක්සහසක් පමණ වනු ඇත.

    LAVANOR ALEKSI නැමැති 40 හැවිරිදි රුසියානු කාන්තාව පොලීසියට පැමිණිලිකර ඇත්තේ සේප්පුවේ තිබුණු අමෙරිකානු ඩොලර් 3,300ක්, යුරේ 200ක් සහ රුසියානු රූබල් 100,000ක් සොරකම්කර ඇති බවය. එම මුදල්වල ශ්‍රී ලංකා මුදල් වටිනාකම රුපියල් දාහත්ලක්ෂ හැටඑක්දහසක් පමණ වනු ඇත.

    මෙසේ සොරාගත් මුදල් වලින් රුපියල් පහලොස් ලක්ෂයක මුදලක් පොලීසිය සොයාගෙන තිබේ. සෙසු මුදල් සොයා විමර්ශන පැවැත්වෙන බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.