fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොරට නම දමා මුදල් ත්‍යාග ගත් සාජන්වරියට වූ දේ

    හොරට නම දමා මුදල් ත්‍යාග ගත් සාජන්වරියට වූ දේ

    කඩවත පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ අපරාධ වැටලීමකට තමාද සහභාගිවූ බවට ව්‍යාජ සටහන් යොදා එම වැටලීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය විසින් ලබාදුන් ත්‍යාග මුදල් ලබාගැනීමක් සම්බන්ධයෙන් පොලිස් කාන්තා සැරයන්වරියක්ව පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම නිලධාරිනිය අත්අඩංගුවට ගන්නා විට සේවයේ නිරතව සිට ඇත්තේ එඩේරමුල්ලේය. ඇය විසින් මෙම වංචාව කර ඇතැයි කියැවෙන්නේ 2020 වසරේදී ඇය කඩවත පොලිස් ස්ථානයේ සේවයේ නිරතව සිටියදීය.

    ත්‍යාග මුදලට සම්බන්ධ වැටලීම සිදුකර ඇත්තේ 2019 වසරේදීය. 2020 වසරේදී කඩවත පොලීසියේ රාජකාරි කටයුතු සඳහා අනුයුක්තව සිටි ඇය එම වැටලීමට අදාල පොලිස් සටහන් වෙනස්කර ඊට ඇයට සහභාගිවූ බවට ව්‍යාජ සටහන් යොදා ලේඛන වෙනස්කරමින් රුපියල් 10,900ක මුදලක් පොලිස් ත්‍යාග ලෙස ලබාගෙන තිබේ.

    මේ ගැන පොලීසියේ නිලධාරීන් විසින් කඩවත පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දීමකින් පසුව කළ සොයා බැලීමකදී අනාවරණය වී ඇත්තේ යම් වංචාවක් සිදුව ඇති බවය. ඒ අනුව ඒ ගැන ඔහු සිය ඉහළ නිලධාරීන් දැනුවත් කරමින් පෑලියගොඩ විශේෂ විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් කර ඇත.

    විශේෂ විමර්ශන කාර්යාංශය විසින් කරනු ලැබූ විමර්ශනයකින් අනතුරුව මෙම පොලිස් සැරයන්වරියව අත්අඩංගුවට ගෙන මහර මහේස්ත්‍රාත් අධිකාරණයට ඉදිරිපත්කර තිබේ. එහිදී ඇයව රුපියල් ලක්ෂ 05 ක ශරීර ඇපයක් මත මුදා හැර ඇති අතර නඩුව ලබන 22 වෙනිදා නැවත කැදවීමට නියෝගකර ති‍බේ.

    මේ සම්බන්ධයෙන් මෙම නිලධාරිනියගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇත.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.