fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF නියෝජිතයෝ පිරිසක් සුරාබදු නිලධාරීන් හමුවෙති

    IMF නියෝජිතයෝ පිරිසක් සුරාබදු නිලධාරීන් හමුවෙති

    ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් අද පෙරවරුවේ සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවී තිබේ.

    එහිදී මෙරට තුළ දුම්කොළ සහ මත්පැන් අලෙවියෙන් ලැබෙන බදු ආදායම පිළිබඳව සාකච්ඡා කළ බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

    මේ අතර පසුගිය වසරේදී සුරාබදු දෙපාර්තමේන්තුව හරහා රුපියල් බිලියන 170ක බදු ආදායමක් රජයට ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසා තිබේ.

    රට ආර්ථික අතින් අසීරු අවස්ථාවක පවතින විටත් එවැනි බදු ආදායමක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇත්තේ මෙරට තුළ 20%ක් 30%ක් පමණ අගයකින් මත්පැන් ආදියෙහි පරිභෝජනය පහත වැටී තිබියදී බව රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටී.

    මෙරට තුළ නිෂ්පාදනය කරනු ලබන මත්පැන් භාවිත කරන රටවල් ගණන 35ක් බව රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරයි.

    2021 වසරේදී අපනයනය කරන ලද මත්පැන්වලින් ඩොලර් මිලියන 20ක් මෙරටට ආදායම ලෙස සොයාදී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

    පසුගිය වසර වනවිට එමගින් ඩොලර් මිලියන 21ක් ලැබී ඇති බව ද හෙතෙම අනාවරණය කළේය.

    මෑතකදීද මෙරට තුළ සුරාබදු වැඩිකළ අතර එසේ වැඩිකරනු‍යේ භාවිතය අඩු කිරීමට බවත් මේ වනවිට භාවිතයේ අඩුවක් ඇති බවත් ඔහු වැඩිදුරටත් කියාසිටියේ ය.

    “අපට තියෙන ලොකුම ගැටලුව විනිමය හිගයයි. මේකට විසඳුමක් විදියට දේශීය මධ්‍යසාර අපනයනය ගැන අපි අවධානය යොමු කරමු කියල යෝජනා කළා. දැනට දේශීය මධ්‍යසාර ලෝකයේ රටවල් 35කට විතර අපනයනය කරනවා. 2021 වසරේ දී දේශීය මධ්‍යසාර අපනයනය කරල ලැබුණ ආදායම ඩොලර් මිලියන 20ක්. 2022 දී එය ඩොලර් මිලියන 21ක දක්වා ඉහළ ගියා. විශේෂයෙන් ම කිතුල් රා සහ තල් රා සඳහා හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ රටේ ප්‍රසිද්ධ සමාගමක් මෑතකදි ඇහුව රා සැණකෙළියක් පවත්වන්න. ඇත්තටම මම ඒ සඳහා සාකච්ඡාවකට දිනයකුත් වෙන් කළා. මේක විදේශිකයන් සඳහා පොල්, තල් සහ කිතුල් රා ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් කරන වැඩක්. පසුගිය දා අපි අවසර දුන්න සයිඩර් කියන බීම වර්ගය අපනයනය කරන්න. මේක නිර්දේශ කරන්නෙ මෙරට පළතුරුවලින් හදන බීමක් විදියට. අපේ පළතුරුවලටත් හොඳයි අපනයනයටත් හොඳයි. කිරි පොන්සා (Milk Punch) කියල තවත් ජාතියකට අවසර දුන්න. ” යැයි අමාත්‍යවරයා පැවැසීය.

    ඉල්ලුමක් සහිත දේශීය මධ්‍යසාර සඳහා නීත්‍යානුකූලව අවසර දීම විදේශ විනිමය ගැටලුවට විසඳමක් වනු ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

    ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දීම සුරාබදු දෙපාර්තමේන්තුව ඇතුළු වගකිව යුතු ආයතනවල වගකීම බව ද හෙතෙම අවධාරණය කළේ ය.

    සුරාබදු දෙපාර්තමේන්තුවේ 110 වැනි සංවත්සරය වෙනුවෙන් රාජගිරිය, සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දී පැවැති උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා පසුගියදා (12) මේ බව පැවැසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.