fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස්පතිගෙන් පසු පොලීසියේ ඉහළම පුටුව නිලන්ත ජයවර්ධනට

    පොලිස්පතිගෙන් පසු පොලීසියේ ඉහළම පුටුව නිලන්ත ජයවර්ධනට

    ශ්‍රී ලංකා පොලීසියේ පොලිස්පතිගෙන් පසු ඇති ඉහළම නිලය වන පොලිස් පරීපාලන අංශයේ ප්‍රධානී ධූරයට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාව පොලිස්පතිවරයා විසින් පත්කර තිබේ.

    පොලිස්පතිවරයාගෙන් පසු ශ්‍රී ලංකා පොලීසියේ මේ වන විට සේවයේ නිරතව සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන්නේ නිලන්ත ජයවර්ධන මහතාය.

    පොලීසියේ සහයක සේවා ප්‍රධානියා ලෙස සේවයේ නිරතව සිටින නිලන්ත ජයවර්ධන මහතාව පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ධූරයේ වැඩ බැලීමට මෙයට පෙර පොලිස්පතිවරයා විසින් පසුගිය 02 වෙනිදා පත්කරනු ලැබූ අතර අද එය ස්ථිර කරනු ලැබීය.

    පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙස මෙතෙක් සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පසුගිය 21 වෙනිදා පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ එම තනතුරෙහි පුරප්පාඩුවක් ඇති විය. එම පුරප්පාඩුවට පොලීසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන නිලන්ත ජයවර්ධන මහතාව පත්කරන ලෙස පොලිස්පතිවරයා විසින් සිය නිර්දේශ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මගින් ජාතික පොලිස් කොමිෂන් සභාවටද මේ වන විට ඉදිරිපත් කර තිබුණු. ඒ අනුව මෙම පත්කිරීම පොලිස්පතිවරයා කර ඇත්තේ එකී අංශවල අනුමැතියද ඇතැතිවය.

    නිලන්ත ජයවර්ධන මහතා පොලිස් සේවයට එක්ව ඇත්තේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස 1998 වසරේ පෙබරවාරි 23 වෙනිදාය. මේ වන විට වයඹ පළාත් පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක, බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරු ද නිලන්ත ජයවර්ධන මහතා සමඟ එකම දින පොලිස් සේවයට එක්වූ නිලධාරීන්ය.

    මේ අය අතරින් නිලන්ත ජයවර්ධන මහතා පැවති පුරප්පාඩු අනුව ප්‍රථමයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට 2019 වසරේ පෙබරවාරි 28 වෙනිදා උසස්වීම් ලබන අතර ලලිත් එස්. පතිනායක මහතා 2019 වසරේ නොවැම්බර් 20 වෙනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්වීම් ලබා තිබේ. දේශබන්දු තෙන්නකොන් මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්වීම් ලබන්නේ 2020 වසරේ ජනවාරි 01 වෙනිදාය.

    නිලන්ත ජයවර්ධන මහතා 2033 වසරේදීද , ලලිත් එස්. පතිනායක මහතා 2032 වසරේදීද , දේශබන්දු තෙන්නකෝන් මහතා 2031 වසරේදීද වයස අවුරුදු 60 න් විශ්‍රාම යාමට නියමිතය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.