fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රාජ්‍ය සේවය පැය 8ට සතියේ දවස් 5ට සීමාවෙන්නෙ නෑ" - ජනපති

    “රාජ්‍ය සේවය පැය 8ට සතියේ දවස් 5ට සීමාවෙන්නෙ නෑ” – ජනපති

    මාස පහමාරක් වැනි කාලයක් තුළ රට සාමාන්‍ය තත්ත්වයකට ඇති කිරීමට හැකිවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    රටේ ආර්ථික ප්‍රශ්න සියල්ල විසඳා නැතත් අත්‍යාවශ්‍ය කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය සැපයුම කළ හැකිවූ බව හෙතෙම අද කියාසිටියේ ගාලු මුවදොර පිහිටි ජනාධිපති ලේකම් කාර්යාල භූමියේ සිට නව වසරේදී වැඩ අරඹමින් සම්ප්‍රදායානුකූලව ජාතික කොඩිය එසවීමෙන් පසු එම කාර්යාල සේවකයන් ඇතුළු රාජ්‍ය සේවය අමතමිනි.

    ජනාධිපතිවරයා එහිදී ජනාධිපති කාර්යාලයේ සේවය කරන නිලධාරීන් අමතා කළ ප්‍රකාශය පහත දැක්වේ.

    “ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා.

    මාස පහමාරකට පෙර මේ කාර්යාලයේ ඉදන් අපි ඓතිහාසික වැඩ කොටසක් බාරගත්තා. ආණ්ඩු පාලනය කඩාවැටෙන අවස්ථාවේ දී ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ඒ මාස පහමාර තුළදී සාමාන්‍ය තත්වයක් ඇති කරන්න අපි පියවර ගත්තා. අපි අපේ ආර්ථික ප්‍රශ්න සියල්ලම විසඳලා නෑ. නමුත් අද ඉන්ධන සඳහාත්, ආහාර සඳහාත්, පොහොර සඳහාත් උවමනා ප්‍රමාණය අපිට ලබාදෙන්න අවස්ථාවක් හිමිවෙලා තිබෙනවා. ඒ නිසා මේ මාස පහමාරක් තුළදී ඔබ සියලු දෙනාම කළ සේවයට මම පළමුවෙන්ම ස්තූතිය ප්‍රකාශ කරනවා. ඒත් අපේ වැඩසටහන මෙතනින් අවසන් වෙලා නෑ.

    2023 වර්ෂය තමයි වැදගත්ම වර්ෂය වෙන්නේ. අපේ ණය උගුලෙන් බේරිලා ණය ප්‍රතිව්‍යුහගත කරලා අපි ඉදිරියට යන්න තියෙනවා. අපේ මේ ආර්ථික කඩා වැටීම නිසා අපිට අලුතෙන් ජීවත් වෙන්න පුළුවන්, ලෝකෙ එක්ක තරග කරන්න පුළුවන්, ආර්ථිකයක් ඇති කරන්න තියෙනවා. අපේ මේ රටේ දේශපාලන ක්‍රමවේදයේ වෙනසක් උවමනායි කියලා ඒ වගේම බහුතරයක මතය තියෙනවා. මේ දෙකම අපි ඔප්පු කරන්න තියෙනවා. මේවා සාර්ථක කරන්න වැඩකටයුතු අපට කරන්න තියෙනවා. අද තියෙන පාලන තන්ත්‍රයක් දේශපාලන යන්ත්‍රය ගැන ඒ තියෙන ප්‍රශ්න විසඳන්නට හැකි අලුත් ක්‍රමවේදයක් අපි ඉදිරිපත් කරන්නට තියෙනවා. ඒ තියෙන්නෙ මේ අවුරුද්ද වැඩකටයුතු. එහෙනම් ගිය අවුරුද්දට වඩා සියලු දෙනාටම එකට එකතු වෙලා ක්‍රියා එකතුවෙලා ක්‍රියාකරන්නට තියෙනවා.

    අපි මේ ආණ්ඩුව දිහා බලන්නේ එක යන්ත්‍රණයක් හැටියට. ඒවා අමාත්‍යාංශය අනුව යන්ත්‍රණ ගණනාවකට බෙදිලා නෑ. එක යන්ත්‍රණයක තියෙන අමතර කොටස්. ඒ නිසා ඒ කොටස් අතර විශේෂයෙන්ම තරඟකාරිත්වයක් ඇති වෙන්න බැහැ. කඹ ඇදිල්ලක් ඇති වෙන්ට බෑ. තමන්ගේ වගකීම සීමා කර ගන්ට බෑ. රටේ මූලික ප්‍රතිපත්ති මාලාවට අනෙක් හැම එක්කෙනාම බැඳිලා තියෙනවා. මේකේ කේන්ද්‍රස්ථානය වෙන්නේ, අද මෙතන තියෙන ජනාධිපති කාර්යාලයත් ඒ වගේම කැබිනට් කාර්යාලයත් ඒ වගේම අගමැති කාර්යාලයත්. මෙතනින් තමයි අපි ඉදිරියට යන්නේ.

    ඒ නිසා මං එක කාරණයක් කියන්න කැමතියි. තමන්ගෙ වැඩ කටයුතු දවසේ පැය 8කට සීමා වෙන්නේ නෑ. තමන්ගෙ වැඩ කටයුතු සතියේ දවස් 5කට සීමා වෙන්නේ නෑ. මේ ස්ථානයේ ඉන්න හැම එක්කෙනාම අපි කැප වෙලා වැඩ කරමු. 2023 අවසන් වෙනකොට මේ රටේ සාමාන්‍ය තත්වයක් ඇති කරමු කියලා පොරොත්තුවෙන් මම මම ඔබ සියලු දෙනාගේම සහාය ඇතිව මේ රට රට ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සියලු දෙනාටම ස්තුතියි.”

    මීට මාස කිහිපයකට පෙර මෙම භූමිය ආණ්ඩුවට එරෙහි ජනතා අරගලයකින් පිරී පැවතියේ ය. ජනතාව විසින් එය අත්පත් කරගැනීම ද සිදුවූ අතර හිටපු ජනාධිපතිවරයා, හිටපු අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීමට ද එම වකවානුවේ සිදුවූයේ මෙම ජන අරගලයේ බලපෑම හමුවේයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.