fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන ජනපතිගෙන් නව වසරට සුබ පැතුම්

    චීන ජනපතිගෙන් නව වසරට සුබ පැතුම්

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා උදාවන 2023 නව වසරට සුබ පැතුම් පිරිනමයි.
    ගෙවුණු 2022 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වන ජාතික කොංග්‍රසය සාර්ථකව පැවැත්විණ. එහිදී, නවීකරණ සමාජවාදී රටක් ගොඩනගමින්, චීන ලක්ෂණයෙන් යුතු නවීකරණය ඔස්සේ චීන ජාතිකයන්ගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවනය ඉදිරියට ගෙන යාම පිළිබඳ දැවැන්ත ඉදිරි දැක්ම ප්‍රකාශ කෙරුණු බව හෙතෙම කියාසිටී.
    ලොව දෙවැනි විශාලතම ආර්ථිකය බවට පත්ව සිටින චීනය ස්ථාවර හා විධිමත් ආර්ථික වර්ධනයෙන් යුවාන් ට්‍රිලියන 120ක දළදේශීය නිෂ්පාදිත වටිනාකමක් බිහිකිරීමට සමත් ව ඇත.

    ගෝලීය ආහාර අර්බුදය හමුවේ වුවද රටේ ධාන්‍ය අස්වැන්න වසර 19ක් පුරා අඛණ්ඩව වර්ධනය කිරීමට හැකි විය. එසේම, චීන ජනතාවගේ ආහාර සැපයුම සහතික කර දරිද්‍රතාව පිටුදැකීමේ ජයග්‍රහණය තහවුරු කර ඇතැයි ද ජනාධිපතිවරයා කියාසිටී.
    නව කොරොනා වසංගතය පාලනය කිරීමේ දී ජනතාව හා ජනජීවිතයට ප්‍රමුඛතාව ලබා දීමේ මූලධර්මය මත චීනය කටයුතු කර ඇත. විද්‍යාත්මක, නිවැරදි තත්ත්වයන්ට අනුකූලව කාලෝචිත ලෙස වසංගත පාලන ප්‍රතිපත්ති සකස් කිරීම හේතුවෙන්, ජනතාවගේ ජීවිත ආරක්ෂාව හා සෞඛ්‍යය උපරිමයෙන් රැකගත හැකිවූ බව ද ජනාධිපතිවරයා පෙන්වාදෙයි.

    වත්මන් චීනය සිහින අඛණ්ඩව සැබෑ වූ චීනයකි. බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල හා පැරාලිම්පික් උළෙල සාර්ථකව පැවැත්විණ. චීනයේ අයිස් හා හිම ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සාඩම්බර ජයග්‍රහණ රාශියක් දිනාගත්හ. ශෙන්චෞ 13, 14, 15 ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානා චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ගොඩනැගීමට දායක විය. විවිධ නිදහස් වෙළඳ කලාප හා හයිනන් නිදහස් වෙළඳ වරාය ද සමෘද්ධිමත්ව වර්ධනය කෙරෙමින් පවතී.

    අධිෂ්ඨානයෙන් යුතුව පියවරෙන් පියවර නිසි ලෙස කටයුතු කළහොත් අනිවාර්යයෙන් විශිෂ්ට ඉලක්ක සපුරාගත හැකිවන බව ද ෂී ජින් පිං මහතා පවසයි.
    අනාගතය කෙරෙහි අපූරු අපේක්ෂාවන් සහිතව 2023 වසරේ පළමු හිරු එළිය පොදුවේ පිළිගන්නා ලෙස චීන ජනාධිපතිවරයා ලොවට ඇරයුම් කරයි. ජනතාව සාමයෙන් හා සහජීවනයෙන් ජීවත් වන,ලෝක සාමය, අපූර්වත්වය, සතුට හා සන්සුන් බව රැ‍දෙන සුබ නව වසරක් වේවා යි ද හෙතෙම ශුභාශිංසනය කරයි.

    NewsWave බීජිං වාර්තාකරු

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.