fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විදුලි බිලෙන් කළ කෝටි 10ක වංචාවක් හෙළිවේ

    විදුලි බිලෙන් කළ කෝටි 10ක වංචාවක් හෙළිවේ

    විදුලිබල මණ්ඩලයේ වෙබ් අඩවිය හැක් කර මාර්ගගත ක්‍රමයට ගෙවීම් කිරීමේ දත්ත වෙනස් කරමින් කළ දැවැන්ත වංචාවක තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් හෙළිකර ගනිමින් මෙම ජාවාරමේ මහ මොළකරුව ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

    හෝටල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන වල විශාල විදුලි බිල් තමා හරහා අන්තර් ජාලය ඔස්සේ ගෙවීමේදී සියයට 25ක වට්ටමක් ලබාදෙන බව සඳහන්කරමින් ව්‍යාපාරික ආයතනවලින් මුදල් ලබා ගන්නා මෙම පුද්ගලයා එම මුදල් සිය සාක්කුවේ දමාගෙන බිල්පත් ගෙවීම් සිදුකර ඇති බවට දත්ත පද්ධතිය වෙනස්කරමින් මෙම වංචාව කර තිබේ.

    පසුගිය සැත්තැම්බර් 18 වෙනිදාත් නොවැම්බර් 25 වෙනිදාත් අතර මාස තුනක පමණ කාලසීමාවක් තුළ පමණක් මේ ආකාරයට බිල්පත් 400ක් පමණ ගෙවා ඇති බව දත්ත වෙනස්කරමින් රුපියල් කෝටි 10 ක පමණ වංචාවක් සිදුකර ඇති බව විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    දත්ත පද්ධතියේ ගෙවීම් සහ බැංකුවට බැරවී ඇති මුදල් අතර යම් වෙනසක් විදුලිබල මණ්ඩලයේ ගිණුම් අංශයට පෙනී යාමත් සමඟ වෙඩ් අඩවිය හැක්කර කර ඇති මෙම වංචාව ගැන තොරතුරු මුලින්ම හෙළිවී තිබේ.

    මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයට විදුලිබල මණ්ඩලයෙන් පැමිණිල්ලක් ලැබී ඇත්තේ පසුගිය නොවැම්බර් 28 වෙනිදාය. එහිදී විදුලිබල මණ්ඩලය විසින් ප්‍රශ්න ගත ගෙවිම් සම්බන්ධයෙන් වූ 400ක් පමණ වූ ලැයිස්තුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත්කර තිබේ. එහි රුපියල් කෝටි එකහාමාරක ගෙවීමක්ද සටහන් වී තිබී ඇත. වැඩි වයසක් නොමැති මෙම සැකකරු අන්තර් ජාලයේ ඇති වෙඩ් අඩවිවලින් හැක් කිරීම තනිවම ඉගෙන ගෙන මෙම ක්‍රියාවේ නිරතව ඇති බව විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    විශාල වශයෙන් විදුලි බිල් ගෙවන හෝටල් ඇතුළු ව්‍යාපාරික ස්ථාන වෙත ගොස් විදුලි බිල්පත මාර්ග ගතව ගෙවීමේදී වට්ටම් ලැබෙන බව සඳහන් කරමින් එම ව්‍යාපාරික ස්ථාන වල විදුලි බිල මෙම සැකකරු විසින් දත්ත පද්ධතියට රිංගා ගෙවීම් කළ බිලක් ලෙස සටහන් කරමින් මෙම වංචාවේ නිරතව ඇත්තේ ව්‍යාපාරිකයන්ගෙන් සියයට 25ක වට්ටම අතහැර විදුලි බිල ගෙවූ මුදල් ලබාගෙනය.

    මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශ තොරතුරු සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.