fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අසිරිමත් නත්තල අදයි

    අසිරිමත් නත්තල අදයි

    කිතු සමිඳුන්ගේ අසිරිමත් උපත සිදුවූ ලොව පුරා අතිමහත් උත්සවශ්‍රීයෙන් සමරන නත්තල අදට යෙදී තිබේ.

    ගෝලීය වසංගතයකින් වසර තෙවසරක් පමණ බැට කෑ ලෝකවාසීන් මෙවර එය පහව යෑම නිසා නිදහසේ නත්තල සමරනු දැකගත හැකිය.

    මේ අතර කිතු සමිඳුන්ගේ අසිරිමත් උපතේ බල මහිමයෙන් අප දේශය සුවපත් කරන, නිවහල් වන ඉදිරි දශකයට දොරගුළු විවර වේවායි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නත්තල සමරන ජනතාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරයි.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කළ නත්තල් දින පණිවිඩය පහතින් දැක්වේ.

    “සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන, රුදුරු අඳුර පරදාලන සත්‍ය ආලෝකයාණන්ගේ පැමිණීම නොහොත් ආගමනය නත්තලයි. එය දිළින්දන්, වහලුන්, පීඩිතයින් මුදාලන විමුක්තිදායක සුපුවතේ රාවය නඟන ආනන්දජනක මංගල්‍යයකි.

    බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක උපන් යේසු බිලිඳා යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට සිය උපතේ පටන්ම ආදර්ශයක් ගෙන දුන්නේය. උන්වහන්සේ මුළු දිවියම කැප කළේ සමාජයේ පීඩාවට පත් ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසාය.

    ලාංකේය වත්මන් සමාජ හා ආර්ථික අර්බුද හමුවේ විමුක්තිදායක කිතු උපතේ යථාර්ථයට සමීප වෙමින්, මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත්වීම සහ සමාජය තුළ පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දැක්විය හැකි උපහාරයයි.

    “වියදම් අඩුකර, නිහතමානී නත්තලක් සමරමු, ඉතිරි කරන දේ දුක්විඳින ජනයාට ලබා දෙමු” යනුවෙන් සුදතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ ද අප සැමට ඇරයුම් කරමින් මනුෂ්‍යත්වයේ වටිනාකම කියා දෙයි.

    මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබාදීම අප රජයේ ඉලක්කය වන අතර සැමට ප්‍රේමය පතුරන මනුෂ්‍යත්වය බෙදා දෙන පුරවැසියන් ලෙස සාමාජීය වගකීම ඉටු කිරීමට ද මේ නත්තල් සමයේ සියලුදෙනා අදිටන් කරගත යුතුය.

    කිතු සමිඳුන්ගේ අසිරිමත් උපතේ බල මහිමයෙන් අප දේශය සුවපත් කරන, නිවහල් වන ඉදිරි දශකයට දොරගුළු විවර වේවා ! යි ප්‍රාර්ථනය කරන අතර උන්වහන්සේ පැතූ මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය පිළිබඳ ශුභාරංචිය සිව්දිග පැතිරෙන ප්‍රීතිමත් නත්තලක් වේවා ! යි ශුභාශිංසනය කරමි.”

    රනිල් වික්‍රමසිංහ
    ජනාධිපති
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.