fbpx
තවත්
    මුල් පිටුවspecialතියෙන ප්‍රශ්නවලට ඉන්දියාවෙන් ‘විසඳුමක්’

    තියෙන ප්‍රශ්නවලට ඉන්දියාවෙන් ‘විසඳුමක්’

    එක්වරම ගෑනියෙකුයි මිනිහෙකුයි පිළිකන්න පැත්තේ කුණුහරුපෙන් බැන ගන්න සද්දයක් ඇසී අමරබන්දු ඒ දෙසට අඩිය ඉක්මන් කරන්නට වූයේ ටක්කෙටම අල්ලපු ගෙදර කසිප්පු ජොනියයි උගෙ ගෑනියි ආයෙමත් මරා ගන්නවා ඇතැයි සිතා උන්ගේ තවත් රෙස්ලිං තරගයක සිරි රේඩියෝවෙන් මෙන් තාප්පයට කණ තබා අසන්නටය.

    “අනේ මගෙ කට, වටේම හිටපු උං කළේ උඹව පෙරළගත්තු එකනේ” පිරිමි කටහඩ කියයි.

    “උඹ මාව පෙරළගෙන කොරයි කියල තමයි බය” ගෑනු කටහඩ මොරදෙයි. අමරබන්දු සාලය හරහා පිළිකන්නට යන්නට ගියත් කුණුහරුප ඇසෙන්නේ කසිප්පු ජොනියගෙ නිවස දෙසින් නොව රූපවාහිනියෙන් බව දැනී හෙතෙම එතැනම ගල් ගැසුනේය. බාල එකියත් ඔහුගේ මායියත් පාර්ලිමේන්තු සජීවී විකාශය නරඹන්නෝය.

    අමරබන්දු මදක් රූපවාහිනිය දෙස බලා සිටියේය. ආණ්ඩු පක්ෂයේ රාජ්‍ය ඇමතිවරිය කියන කුණුහරුපවල තාලයටම සිය ශරීරයද පද්දමින්ම ගෞරවනීය සභා ගැබ තුල රග දුන්නාය. ඊට ප්‍රතිචාර වශයෙන් කළින් කුණුහරුප කියමින් හුන් විපක්ෂයේ මන්ත්‍රීවරයා නවසීලන්ත මෞරි හකාවක මෙන් තම දිව හැකි තරම් එළියට ඇදගනිමින් කුණුහරුප කියමින් සිටින රාජ්‍යය ඇමතිවරියහට ඔච්චම් කරමින් සිටියේය. එම දසුන දුටු අමරබන්දුගේ ඉහ මොළකේන්තියෙන් රත් විය. මේකිගෙ නම එංගලන්තෙ ඩයන කුමාරිගෙ උනාට කට ඇරියහම ගලි වල ඇරිය වගේනෙ යැයි හෙතෙම තමන් හටම මුමුණා ගත්තේය.

    “මොකද බොල හය හතර නොදන්න හිච්චි එකීව ඔය බඩකඩුත්තුව ඉස්සරහ ඉන්දවාගෙන කොරන්නේ” අමරබන්දු කේන්තිය පිට කළේ තම මායියා මතිනි.

    “නෑ අනේ මේ ළමයගෙ ඉස්කෝලෙන් කියල පාර්ලිමේන්තු වාර්තාවක් ලියාගෙන එන්න කියාලා” ඇය ඇගට පතට නොදැනී කියා දැම්මාය.

    “අනේ මගෙ කට, පාර්ලිමේන්තුව වගේ නොහොඹිනා තැන් පෙන්න්නනවද හැදෙන ගෑනු ළමයින්ට හරිහමං අම්ම කෙනෙක්, ඔන්න ඕක බලන්නම ඕනෙ නං පෙන්නපිය අඩුතරමෙ කොරියන්නාටිටියක්” අමරබන්දු කේන්තියෙන් කෑගෑවේය.

    ගෙතුල වූ ඇද රෙද්දකුත් ඇගේ දවටා ගත් අමරබන්දු ගෙයින් එළි බැස්සේ හදිසියේම ඇතිවූ සීතලට ද ශාප කරමිනි. එළියට බැස්සද පරිසරය දුමෙන් වැසී ගෙනය, කිසිත් නොපෙනෙන තරම්ය. සීතලයි, දුමයි කළින් ඇසුනු ගෞරවාන්විත කුණුහබ්බයි තුනම එකතු වී අමරබන්දුගේ අභ්‍යන්තරය කකාරවමින් තිබුණේ එසේ මෙසේ කේන්තියක් නම් නොවේ. ඔහු එළිපත්තට පය තිබ්බා පමණි. දුම් කපාගෙන ඒ අතරින් එක්වර යමෙක් මහත් ගාම්භීරව තමන් වෙත ඇවිද එනු දුටු හෙතෙම මොහොතකට ගැස්සුනේය. බටහිර පන්නයට හැද පැළද ටයි පොල්ලකුත් බෙල්ලේ එල්ලා ගත් එම පුද්ගලයාගේ අතෙහි වූයේ රත් පැහැති බ්‍රීෆ්කේසයකි. එම රුව දුටු පමණින් අමරබන්දු හට සිහි වූයේ අමෙරිකානු රෙස්ලිං ශූර “අන්ඩර්ටේකර්වය”. නමුත් දුම කපාගෙන තමන් දෙසට පැමිණෙන පුද්ගලයා තමන් අමතන තුරු අමරබන්දු හට ඔහුව හදුනා ගැනීමට නොහැකිවිය.

    “හප්පට සිරි.. අටවන ජනපති” අමරබන්දු හට ඉබේටම මෙන් කියැවුනි.

    “අයිෂෙ අමරබන්දු.. කොහොමද.. කොහොමද? දැන් පෙට්‍රල් එහෙම තියෙනව නේද? පෝළිම් එහෙම නැහැ නේද?” හෙතෙම අමරබන්දුගෙන් ඇසුවේ මහත් ගර්වයකිනි.
    “මට අහවල දේටද ජනාධිපති තුමෝ පැට්ටෝල්.. මේ සීතල තමයි ඉවසගන්න බැරි” අමරබන්දු වෙවුලමින් කීවේය.

    “එහෙම කියන්න එපා අයිෂෙ.. මම පොරොන්දු වුනානෙ මේ රට යුරෝපෙ වගේ කරනවා කියලා..ඉතින් ඒකේ ෆර්ස්ට් ස්ටෙප් එක තමයි මේ, මේ සීතල මම කළින්ම ගෙනාවෙ තමුසෙලාගෙ ඇග පුරුදු කරල ගන්න” අටවන ජනපති කීවේය. ඉන් අමරබන්දු සතුටට පත් වූයේ නැත.

    “අපිට දෙන්නෙ සීතල විතරද සෑර්?” හෙතෙම බයාදු ස්වරයෙන් ඇසුවේය.

    “ඉස්සෙල්ල සීතලට හුරුවෙනවකො, ඉතුරුවා ලැබෙන්නෙ පස්සෙ” කියාගත් අටවන ජනපති යන්නට ගියේය.

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    තිලංග ෆොන්සේකා
    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    ඔබේ අදහස් දක්වන්න.