fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොර පාරෙන් ඕමානයට වතුකරයේ කාන්තාවන් පටවන ජාවාරමක් හෙළිවේ

    හොර පාරෙන් ඕමානයට වතුකරයේ කාන්තාවන් පටවන ජාවාරමක් හෙළිවේ

    ඩුබායි හී රැකියාවන් සඳහා යොමුකරන බව සඳහන් කරමින් සංචාරක වීසා මගින් අබුඩාබිවලට මෙරට වතුකරයේ කාන්තාවන් රැගෙන ගොස් හොර පාරෙන් ඕමාන් වෙත රැගෙන යන මිනිස් ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකුව කටුනායක ගුවන් තොටුපොලේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීමෙන් අද අත්අඩංගුවට ගෙන කටුනායක පොලීසිවට භාරදී තිබේ.

    අබුඩාබි සිට ඔහු මෙරටට පැමිණෙන අවස්ථාවේදි මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විසින් ලබාගෙන තිබුණු විදෙස් ගමන් ගහනමකට අනුවය.

    ඕමානයට හොර පාරෙන් රැගෙන යාමේ සූදානමින් අබුඩාබි වෙත රැගෙන ගිය වතුකරයේ කාන්තාවන් 16 දෙනෙක් මේ වන විට අබුඩාබි හී නිවසක සිරකරගෙන සිටින බවට තොරතුරුද මේ වන විට හෙළිවී තිබේ.

    ඒ බවට තොරතුරු හෙළිකරනුයේ ජනප්‍රිය ගායක දුෂ්‍යන්ත් විරමන් මහතාය. ඔහුගේ නිවසේ සේවය කළ කාන්තාවක්ද ඒ 16 දෙනා අතර සිටින බව සඳහන්ය. මේ ගැන විදේශ රැකියා නියුක්ති කාාර්යාංශයට පවා ඔහු දැනුම්දී ඇති අතර අද දිනයේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පවා පැමිණිල්ලක් කිරීමට ඔහු සූදානමින් සිටින බව දැනගන්නට ඇත.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාාංශය සඳහන් කරනු ලබන්නේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උලංඝනය කරමින් නීති විරෝධී ලෙස පුද්ගලයින් විදේශ ගත කරන පිරිස් , මිනිස් වෙළදාම සහ මිනිස් ජාවාරමට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සදහා ක්‍රියාත්මක කරන මෙහෙයුම් දැඩි කිරීමට කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර පසුගිය සතියේදී පැවති සාකච්ඡාවකදී තීරණය කළ අතර ඒ අනුව දීප ව්‍යාප්තව වැටලීම් කරන බවය.

    ඕමාන්හි රැකියා සදහා නීත්‍යානුකූල නොවන ආකාරයට, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කරමින් කාන්තාවන් රැගෙන ගිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සදහා විදේශ ගමන් තහනමක් ලබාගැනීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබුණු බවත්. ඒ අනුව අද උදෑසන අබුඩාබි සිට ලංකාවට පැමිණෙන විට කටුනායක ගුවන්තොටුපොලේදී මොහු අත්අඩංගුවට ගෙන කටුනාය පොලීසියට භාරදී දුන් බවත් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හතලිස් හතර හැවිරිදි විදේශීය රැකියා නියෝජිත ආයතන හිමිකරුවෙක් බවද කාර්යාංශය සඳහන් කළේය.

    මෙම පුද්ගලයා හරහා ලංකාවට ලැබෙන රැකියා ඇබෑර්තුවලින් කාන්තාවන් ඩුබායිහි රැකියා සදහා යොමු කර තිබේ. එතැන් සිට විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය වන ආකාරයට කාන්තාවන් ඕමානය බලා රැගෙන ගොස් ඇති බව මේ වන විට පැවැත්වූ විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    මෙම පුද්ගලයාට එරෙහිව මිනිස් වෙලදාම සම්බන්ධයෙන් වන චෝදනා ගොනු කිරීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද තවත් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් සිටී.

     

    Photo – file photo

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.