fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්2023 අයවැය කතාව අද පාර්ලිමේන්තුවේ දී..

    2023 අයවැය කතාව අද පාර්ලිමේන්තුවේ දී..

    2023 වර්ෂය සඳහා අයවැය කථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

    පස්වරු 1.30ට ලබන වසරට අදාළ අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත්තේ මෙරට 77 වැනි අයවැය ලේඛනය ලෙසිනි.

    මෙවර අයවැයේ රජයේ වියදම් ඇස්මේන්තුව රුපියල් බිලියන 7,885 කි.

    එය පසුගිය වසරට සාපේක්ෂව 29.2%ක වැඩිවීමකි.

    පසුගියදා ඉදිරිපත් කරන ලද අතුරු අයවැය හැරුණු කොට අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන 2023 අයවැය, රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වී ඉදිරිපත් කරන පළමු වාර්ෂික අයවැය ලේඛනයයි.

    අද ජනාධිපතිවරයා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, හෙට සිට ලබන 22 වනදා දක්වා අයවැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වේ.

    අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම ලබන 22 වනදා පස්වරු 5ට පැවැත්වීමට නියමිතය.

    මේ මස 23 වනදා සිට දෙසැම්බර් මස 08 වනදා දක්වා අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වේ.

    දෙසැම්බර් 08 වනදා පස්වරුවේ අයවැය තුන්වනවර කියවීම හෙවත් අවසන්වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

    යම් හෙයකින් එම ඡන්ද විමසීමේදී රජය අයවැය පරාජය වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 (2) වගන්තිය අනුව කැබිනට් මණ්ඩලය විසුරුවා හැරිය යුතුය.

    අයවැය හේතුවෙන් අද පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක විධිවිධාන පෙර වසරවලදී සිදු කළ ආකාරයටම ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.

    අද දින මහජන ගැලරිය රාජ්‍යතාන්ත්‍රික අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ලැබේ.

    පාර්ලිමේන්තු රථගාල මෙදින වසා තබන බැවින්, මන්ත්‍රීවරුන් පැමි‍ණෙන වාහන අදාළ රථගාල් වෙත යොමු කරයි.

    අදදින පාර්ලිමේන්තුවට පැමි‍ණීමේදී, හැකිතාක් දුරට රියැදුරෙකු කැටුව පැමිණෙන ලෙසද කථානායකවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගෙන් ඉල්ලා ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම, තම රථය පදවාගෙන එන්නේ නම්, එම මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාල වෙත ධාවනය කර ගාල් කරවීම පිණිස මන්ත්‍රී පිවිසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියැදුරන් එම සේවාවේ යොදවනු ලබයි.

    මීට අමතරව, මෙදින රථ වාහන පොලීසිය සහ අවට පොලිස් ස්ථාන මඟින් විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ලැබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.