fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හික්කඩුවේ මහමඟ වෙඩිවරුසා‍ මැද වූ ද්විත්ව ඝාතනයේ සුළමුල හෙළිවෙයි (📹)

    හික්කඩුවේ මහමඟ වෙඩිවරුසා‍ මැද වූ ද්විත්ව ඝාතනයේ සුළමුල හෙළිවෙයි (📹)

    හික්කඩුව ප්‍රදේශයේදී ඊයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකුට ඊයේ (31) වෙඩි තබා ඝාතනය කර ඇත්තේ මත්කුඩු ජාවාරම්කාරියක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 05 කොන්ත්‍රාත්තුවකට අනුව බවට පොලිස් ආරංචි මාර්ග අනාවරණය කරයි.

    මෙම ඝාතනය පිළිබඳ විමර්ශන පැවැත්වීමට දකුණු පළාත් අපරාධ කොට්ඨාශයේත් ගාල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේත් නිලධාරීන් ඇතුළුව පොලිස් කණ්ඩායම් තුනක් පත්කර ඇති බව දකුණු පළාත්භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

    හික්කඩුව කලුපේ සිට ගාල්ල අධිකරණයේ විභාගවෙමින් පවතින මිනිස් ඝාතන නඩුවකට පෙනී සිටීමේ සූදානමින් යතුරු පැදියක ගමන් කළ දෙදෙනකුට මහ මගදී ටී 56 අවියකින් මෙම ද්විත්ව ඝාතනය සිදුකර තිබුණි.

    මියගොස් ඇත්තේ හික්කඩුව කලුපේ අඹගහවත්තේ පදිංචිව සිටි අප්පුවාහන්දි ප්‍රසන්න මෙන්ඩිස් 47 හැවිරිදි අයෙක් සහ හෙන්දහේවගේ ඉසුරු ප්‍රසන්න 26 හැවිරිදි තරුණයෙකි.

    පාතාලයේ හා මත්කුඩු ජාවාරම්කරුවෙක් වූ “කටා රොෂාන්“ නැමැත්තා කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ඇති නඩුවකට පෙනී සීටීමට මොවුන් ගමන්කරමින් සිට ඇත.

    මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් ඇතිවුණු ආරවුලක් මත කටා රොෂාන් නැමැත්තාගේ ඝාතනය සිදුව ඇත්තේ 2021 වසරේ දෙසැම්බර් 21 වෙනිදා හික්කඩුව නලාගස්දෙණිය කන්නන්ගර වත්තේදීය.

    එම ඝාතනය සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය විමර්ශන පවත්වා සැකකරුවන් තිදෙදෙක් අත්අඩංගුවට ගෙන තිබු අතර ඉන් මෙම සැකකරුවන් දෙදෙනා ඇප ලබා සිට ඇත. එම සැකකරුවන්ගෙන් අනෙක් පුද්ගලයා තවමත් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.

    ගාල්ල අධිකරණය හමුවේ පෙනී සිටීමට යතුරු පැදියේ නැගී මොවුන් දෙදෙනා ගමන් කරමින් සිටියදී ඒ පසුපසින් යතුරු පැදියක නැගී හඹා ආ වෙඩික්කරු, තිරාණගම හංදියට ආසන්න වනවාත් සමඟ වේගයෙන් ඉදිරියට ධාවනය කර, යතුරු පැදි දෙක මාර්ගයේ සමාන්තරව ධාවනය වනවිට වෙඩි වරුසාවක් මුදා හැර තිබෙන බව පොලීසිය කියයි.

    වෙවි ප්‍රහාරය හමුවේ ඔවුන් දෙදෙනා යතුරු පැදියද සමඟ එතැනම මැරී වැටෙන විට තවත් මීටර් 20ක් පමණ ඉදිරියට ධාවනය වූ වෙඩික්කරු රැදී සිටි යතුරු පැදිය ඒ වේගයෙන්ම ආපසු හරවාගෙන පලාගොස් ඇත.

    වෙඩි 17ක් 20ක් පමණ ඝාතනය වූ දෙදෙනාගේ සිරුරුවලට වැදී ඇති බව බැලූ බැල්මට පෙනී යන බව ද පොලීසිය කියයි. ඒ අසල තාප්පයකටද යකඩ ගේට්ටුවකටද වෙඩි හය හතක් වැදී තිබෙන බවද පොලීසියට පෙනී ගොස් වී තිබේ.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.