fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විශිෂ්ටයින් අතර විශිෂ්ටයින්ට ලාංඡන ගුවනින්

    විශිෂ්ටයින් අතර විශිෂ්ටයින්ට ලාංඡන ගුවනින්

    ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායට එක්ව, මාස නවයක අති දුෂ්කර පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු නිලධාරින් 19 දෙනෙකු සහ සෙසුනිලයින් 595 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගියදා (29) දින මාදුරුඔය විශේෂ බළකා පුහුණු පාසලේ දී පැවැත්විණි.

    විශේෂ බලකා පුහුණු පාඨමාලා අංක – 52 සහ 53 යටතේ මෙම කණ්ඩායම විසිර යන ලද්දේ මාතෘභූමියේ ආරක්‍ෂාව වෙනුවෙන් ඕනෑම මෙහෙයුමක් සිදුකිරීමට නිරතුරුවම සූදානමින් සිටින විශිෂ්ඨයින් අතර විශිෂ්ඨයින් කණ්ඩායමක් ලෙසයි.

    විශේෂ බලකා පුහුණු පාසල වෙත පැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මෙන්ම විශේෂ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ විශේෂ බලකා පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් ඩී.එස් හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, අනතුරුව විශේෂ බලකා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනමන ලදී.

    ඉන්පසුව ‘අධීෂ්ඨානයෙන් යුතුව අභීතව අරමුණ කරා’ යන විශිෂ්ඨයන්ගෙන් සැදුම්ලත් අලංකාරවත් විසිරයාමේ පෙළපාලියේ ගෞරවාචාරය යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඉතා අලංකාරවත් හා අභීත අයුරින් පිරිනමනු ලැබිණි.

    අනතුරුව, විශේෂ බලකා පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කළ සෙබළුන් වෙත පැලඳවීමට නිමිත විශේෂ බලකා ලාංඡන සරඹ භූමිය වෙත සුවිශේෂීත්වයක් එක්කරමින් ගුවනින් රැගෙන එන ලදී.

    ඉන් පසුව මෙම විසිරයාමේ පෙළපාලියට ගෞරවයක් එක්කරමින් සපැමිණි, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පාඨමාලාව සාර්ථකව අවසන් කළ විශිෂ්ඨයින් වෙත විශේෂ බලකා ලාංඡන පැළඳවීම සිදුකරනු ලැබීය.

    ඉන් අනතුරුව, විශිෂ්ඨයන් ලෙස විශේෂ බලකායට එක්වු සෙබළුන්ට විශේෂ බලකා ප්‍රතිඥාව ලබාදීම එහිදි සිදුවිය.

    ඉන් පසුව, විශිෂ්ඨයන් අතරින් විශිෂ්ඨයින්ට හිමි කුසලාන සහ සහතික පත් පිරිනැමීම යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් සිදුවිය.

    විශේෂ බලකා පුහුණු පාඨමාලා අංක – 51 සහ 52 හි අතිශුර සිසුන්ට හිමි කුසලානයන් පිලිවෙලින් කපිතන් ඩී.එච්.එම්.ටී.එම් හේරත් සහ දෙවන ලුතිනන් ජේ.එස්.එස්.එම් ජයකොඩි විසින් හිමිකරගත්තේය.

    පාඨමාලාවන්හි දක්‍ෂතම ශාරිරික යෝග්‍යතාවයට හිමි කුසලානයන් හිමිකරගැනීමට ලුතිනන් ටී.ඒ.කේ.එස් රත්නායක සහ ලාන්ස් කෝප්‍රල් චන්ද්‍රසිරි ආර්.එම් සමත්වූ අතර, දක්‍ෂතම වෙඩික්කරුට හිමි කුසලානයන් ලාන්ස් කෝප්‍රල් දේශප්‍රිය යූ.බී.ආර්.පී සහ ලාන්ස් කෝප්‍රල් කුමාර ජේ.ටී.පී හිමිකරගැනීමට සමත්වූහ.

    අනතුරුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මෙම අවස්ථාව ආමන්ත්‍රණය කරමින් විසිරයාමේ පෙළපාලියට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස තමාට ආරාධනා කිරීම පිළිබඳව විශේෂ බලකායට සිය කෘතඥතාවය පුද කළේය. රට වෙනුවෙන් දිවිපිදු හා රණක්‍ෂිතයට පත් විශේෂ බලකායේ විරෝදාර රණවිරුවන් එහිදි සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් ඔවුන්ගේ සුවිශේෂි හැකියාවන් සහ විශේෂ බලකායේ කීර්තිමත් ගෞරව නාමය සෑමවිටම ආරක්‍ෂා කරගනිමින් මාතෘභූමියේ ස්වෛරිත්වය ආරක්‍ෂා කරගැනීම උදෙසා කැපවීමෙන් යුතුව ජාතියේ ආරක්‍ෂාව වෙනුවෙන් ආදර්ශමත් ලෙස තම රාජකාරින් සිදුකරන ලෙසත්, විසිරයන විශිෂ්ඨයන්ගෙන් ඉල්ලා සිටියේය.

    යුද්ධයෙන් දිවිපිදූ සහ රණක්‍ෂිතයට පත් විශේෂ බලකායේ වීරෝදාර රණවිරුවන් සිහිපත් කළ යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ බලකාය වෙත විසිර යන විශිෂ්ඨයන් දායාද කළ දෙමාපියන් ද පැසසුමට ලක් කළේය.

    මෙහිදී පැමිණ සිටි සියලු දෙනාට ආශ්වාද ජනක නැවුම් අත්දැකීමක් එක්කරමින් තූර්ය වාදන සංදර්ශනයක්, ගුවන් කරනම් ඇතුලත් පැරෂුට් සංදර්ශනයක්, ටයිකොන්ඩෝ සංදර්ශනයක්, විශේෂ බලකා කුසලතා ප්‍රදර්ශනය කෙරෙන සංදර්ශනයක්, නගරබද සටන්වල ක්‍රියාකාරකම් හා සම්බන්ධ යතුරුපැදි සන්දර්ශනයක් සහ විශේෂ බලකා රණකාමිත්වය විදහාපාමින් නගරබද සටන් හා නිරායුධ සටන් සංදර්ශනයක් සමඟින් විසිරයාමේ උත්සව කටයුතු නිමාවට පත්විය.


     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.