fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යාල සිද්ධියේ ජිප් පැදවූවන්ට ඇප - නිලධාරීන්‍ 7කගේ සේවය අත්හිටුවයි

    යාල සිද්ධියේ ජිප් පැදවූවන්ට ඇප – නිලධාරීන්‍ 7කගේ සේවය අත්හිටුවයි

    යාල වනෝද්‍යානයට ඇතුළු වූ ජිප් රථ ගණනාවකින් පැමිණි පිරිසක් එම වාහන සතුන්ට හිංසා වනපරිදි හැසිරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් 9 දෙනා ඇප මත මුදාහැර තිබේ.

    එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත මෙලෙස ඔවුන් මුදාහැර ඇත්තේ තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 9 දෙනෙකු ඔවුන් පැමිණි මෝටර් රථ 6ක් සමග වනජීවි දෙපාර්තමේන්තුවට භාරවී තිබුණි.

    මෙම සිද්ධියේදී එම අවස්ථාවේ රාජකාරියට ආසන්නවම සම්බන්ධ නිලධාරින් 07 දෙනෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබේ.

    මෙම සිදුවීමේ දී තම රාජකාරිමය වගකීම් පැහැරහැරි හා සිද්ධියට සෘජුව හෝ වක්‍රව දායකත්වය ආසන්නවම සපයා ඇති නිලධාරින් 07 දෙනෙකුගේ සේවය විමර්ශන අවසන් වන තෙක් තාවකාලිකව අත්හිටුවීමට වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පියවර ගෙන ඇත.

    ඉදිරි විමර්ශනවල දී මෙම හත්දෙනාට අමතරව අනිකුත් ඊට සම්බන්ධ තවත් නිලධාරින්ගේ නම් හෙළිදරව් වුවහොත් ඔවුන්ට එරෙහිව ද විනයානුකූලව පියවර ගැනීමට වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා තීරණය කර තිබේ.

    මෙම සිද්ධියට අදාළව යාල වනෝද්‍යානය ආශ්‍රිතව කටයුතු කළ නිලධාරින් රාජකාරිමය වගකීම පැහැර හැරීම හා ඔවුන් විසින් මෙම සිද්ධිය සම්බන්ධව කිසිදු විටෙක ඉහළ නිලධාරින් දැනුම්වත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධව විමර්ශන කටයුතු මෙහෙයවීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය තීරණය කර තිබේ.

    යාල වනෝද්‍යානයට ඇතුළත් ව අයථා ලෙස වාහන භාවිතා කරමින් වනජීවි හා වෘක්ෂලතා පනත උල්ලංඝනය වන අයුරින් කටයුතු කළ පිරිස සම්බන්ධව ඊයේ (25) යාල වනෝද්‍යානය බාරකරු විසින් අදාල පිරිසට අධිකරණමය පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කළ බව කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය සඳහන් කරයි.

    අද දින මේ සම්බන්ධව කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග සාකච්ඡා කර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් මෙම ත්‍රිපුද්ගල කමිටුව පත් කිරීමට පියවර ගන්නා බව ලේකම්වරිය පැවසුවාය.

    එමෙන්ම යාල වනෝද්‍යානය තුළ අනිසි ලෙස හැසිරුනු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ කටයුතුවල දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා පොලිස්පතිවරයාට ලිපියක් අද දින (26) චන්ද්‍රා හේරත් මහත්මිය විසින් ලිපියක් යොමු කිරීමට නියමිතය.

    මෙම සාකච්ඡාවේදී මෙම සිදුවීමට සම්බන්ධ වාහන හා පුද්ගලයින් කඩිනමින් හඳුනාගැනීම හා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට තීරණය විය. දැනට එම වාහන හා පුද්ගලයින් සම්බන්ධ තිබෙන තොරතුරුවලට අමතරව ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ තොරතුරු, ඡායාරූප හා වීඩියෝ දර්ශනවල ඇතුළත් තොරතුරු ද සැළකිල්ලට ගැනීමට නියමිතය.

    යාල ජාතික වනෝද්‍යානය තුළ අනිසි ලෙස වාහන ධාවනය කරමින් වනසතුන්ට හිංසා වන පරිදි කටයුතු කළ පුද්ගලයින් හා සියලු වාහනවලට වසර තුනක් යන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාතික වනෝද්‍යානයකට ඇතුළත් නොකිරීමට ඔවුන් හා වාහන කළු ලැයිස්තුවට ඇතුළත් කිරීම මෙන්ම මින් ඉදිරියට ජාතික වනෝද්‍යාන තුළ වනසතුන්ට හිංසාවන පරිදි හැසිරෙන පුද්ගලයින් හා කණ්ඩායම් සම්බන්ධව මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට ද පියවර ගෙන ඇත.

    වනෝද්‍යානය තුළ වනසතුන්ට හිංසා නොවන පරිදි හැසිරීම සම්බන්ධව සෑම දෙස් විදෙස් සංචාරක කණ්ඩායම්වලට දැනුම්වත් කිරීම සඳහා අත්පත්‍රිකාවක් නිකුත් කිරීම.

    කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි මෙම තීන්දු තීරණ වහා ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය විසින් වනජීවි අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතාට වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

    මෙම සිද්ධියට සම්බන්ධ ජිප් රථවලින් ආ පුද්ගලයන් 9 දෙනකු භාරවූ බවට ද වාර්තා වේ. ජිප් රථ 7ක් ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් ය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.