fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලංකන් ගුවන් සමාගමට කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන දෙකක්

    ශ්‍රීලංකන් ගුවන් සමාගමට කීර්තිමත් ජාත්‍යන්තර සම්මාන දෙකක්

    ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය සහ වන්වර්ල්ඩ් සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය 06 වැනි දකුණු ආසියා සංචාරක සම්මාන උළෙලේ දී “Visitor’s choice Airlines of the Year” සම්මානයෙන් පසුගියදා පිදුම් ලැබීය. ‍‍‍

    මෙම සම්මාන උළෙල 2022 සැප්තැම්බර් මස 30 වැනි දින අති උත්කර්ෂවත් අන්දමින් මාලදිවයිනේ, Huduranfushi හි Adaaran Select හි පවත්වන ලදී.

    මෙම අවස්ථාවට මාලදිවයිනේ උප ජනාධිපති ගරු ෆයිසාල් නසීම්, මාලදිවයිනේ සංචාරක අමාත්‍ය ආචාර්ය අබ්දුල්ලා මවුසූම්, දකුණු ආසියා සංචාරක සම්මාන උළෙලේ සභාපති ඉස්මයිල් හමීඩ් යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී වූහ.

    ශ්‍රීලංකන් ගුවන් සමාග‍මේ ශ්‍රී ලංකා සහ ඉන්දියන් සාගර රටවල කලාපීය කළමනාකරු ජයන්ත අබේසිංහ මහතා සහ ශ්‍රීලංකන් මාලදිවයිනේ කළමනාකරු ෆවුසාන් ෆරීඩ් මහතා විසින් මෙම ගෞරවනීය සම්මානය ලබාගන්නා ලදී.

    එසේම 2022 ඔක්තෝම්බර් 3 වන දින පැවති මාලදිවයින් සංචාරක ස්වර්ණ ජුබිලි සම්මාන උළෙලේ දී සංචාරක කටයුතු සඳහා වන ජනාධිපති රන් සම්මානය (The President’s Gold Award) ද ශ්‍රීලංකන් ගුවන් සේවය හිමිකරගන්නා ලදී‍.

    මාලදිවයිනේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සඳහා සුවිශේෂී දායකත්වයක් ලබා දීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය ලබාදුන් සහයෝගය මෙහිදී ඇගයීමට ලක්විය. මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා අතින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ලෝක ව්‍යාප්ත විකුණුම් සහ බෙදාහැරීම් ප්‍රධානී දිමුතු තෙන්නකෝන් මහතා මෙම සුවිශේෂී සම්මානය ලබාගත්තේය.

    ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් දිනාගත් සම්මාන දෙක දකුණු ආසියාව තුළ ගුවන් සේවයේ ශක්තිය සහ ස්ථාවරත්වය පෙන්නුම් කිරීමකි. ගුවන් සමාගම දැනට ඉන්දියාව පුරා නගර නවයකට සතියකට ගුවන් ගමන් 90ක් ක්‍රියාත්මක කරයි.

    බංග්ලාදේශයට සහ පකිස්ථානයට සතිපතා ගුවන් ගමන් හත බැගින් සහ නේපාලයට සතිපතා ගුවන් ගමන් පහක් සිදුකරයි.

    SATA යනු දකුණු ආසියාවේ සංචාරක අංශයට සම්බන්ධ ආයතනවලට ඔවුන්ගේ පහසුකම් සහ සේවා විශිෂ්ටත්වය සඳහා පිළිගැනීමක් ලබා දෙන කලාපීය සංචාරක සම්මානයකි.

    SATA සහ එහි ප්‍රමිතිය කලාපීය සහ ජාත්‍යන්තර ආයතන 16 කට අධික සංඛ්‍යාවක් විසින් අනුමත කර ඇත. SATA හි අරමුණ වන්නේ කලාපයේ සංචාරක කර්මාන්තය තුළ සේවා ප්‍රමිතීන් දිරිමත් කිරීම සහ ඉහළ නැංවීමයි.

    එහිදී ජයග්‍රාහකයින් තෝරාගනු ලබන්නේ කලාපීය රටවල විනිසුරු මඩුල්ල හරහා සහ අන්තර්ජාලය හරහා ඡන්දය ප්‍රකාශ කිරීමෙනි.

    ශ්‍රීලංකන් ගුවන් සේවය වසර ගණනාවක් පුරා මාලදිවයන වෙත මෙහෙයුම් සිදුකර ඇති අතර දැනට මාලදිවයිනේ ගමනාන්ත දෙකකට – Male සහ Gan Island වෙත ක්‍රියාත්මක වන එකම ජාත්‍යන්තර ගුවන් සේවය වේ.

    ශ්‍රීලංකන් සතියකට 23 වතාවක් මාලදිවයිනට පියාසර කරන අතර යුරෝපය සහ මැදපෙරදිග සිට කොළඹ හරහා මගීන්ට පහසු සම්බන්ධතා සපයයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.