fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ජාතික ප්‍රතිපත්තියක්

    රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ජාතික ප්‍රතිපත්තියක්

    ඩිජිටල් හැදුනුම්පත් නිකුත් කිරීම ඇතුළු රාජ්‍ය සේව‍ය ඩිජිටල්කරණය සදහා අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට අවශ්‍ය නිර්දේශ තම අනුකමිටුව මගින් ජාතික සභාවට කඩිනමින් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

    ඊයේ රැස්වූ කෙටි, මධ්‍යම හා දිගුකාලීන ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳ ජාතික සභා අනු කමිටුවේ දී එහි සභාපති නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

    විද්‍යුත් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීම කඩිනම් කිරීමට අවශ්‍ය දත්ත රැස්කිරීම, පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත යටතේ දත්ත ආරක්ෂණ ඒජන්සිය කඩිනමින් ස්ථාපිත කිරීම ඇතුළු කරුණු කාරණා පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය.

    රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට පවතින නෛතික බාධා ඉවත් කිරීමට අණපනත් සංශෝධනය කිරීම පිළිබද වාර්තාවක් සති දෙකක් තුළ ඉදිරිපත් කරන ලෙස අනුකමිටුව නිර්දේශ කර ඇත.

    ඒ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්න මහතාට ය.

    ජාතික සභාව හරහා එම සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ හැකි බවද අනුකමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ජාතික ප්‍රතිපත්තියක සිට රාජ්‍ය සේවය ඩිජිටල්කරණය වේගවත් කිරීම තුළින් ජනතාවට අවශ්‍ය සේවාවන් වඩාත් ඉක්මනින් සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් ඉටුකළ හැකි බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    එසේම ලොව තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවන් සහ යාවත්කාලීනවීම් හමුවේ ඊට සමගාමීව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අවශ්‍යතාවද අනුකමිටුව අවධාරණය කළේය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.