fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"‍සාම්ප්‍රදායික දේශපාලනය එපා - ආහාර ප්‍රශ්නෙ විසඳන්න එකතු වෙමු"

    “‍සාම්ප්‍රදායික දේශපාලනය එපා – ආහාර ප්‍රශ්නෙ විසඳන්න එකතු වෙමු”

    සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ඉවත දමා, ආහාර සුරක්ෂිතතාව ඇති කර ජනතාවගේ ආහාර ගැටලුව විසඳන වැඩපිළිවෙලට සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (15) පෙරවරුවේ අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහුආංශික ඒකාබද්ධ යාන්ත්‍රණය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ අම්පාර දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.

    2023 ඇතිවිය හැකි ගෝලිය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණදීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    ආහාර සුරක්ෂිතතා වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතරතුරදී ලබන වසරේ සිට කෘෂිකර්මාන්තය නවීකරණය කිරීමේ වැඩසටහන ක්‍රියාවට නංවන බව ද ජනාධිපතිවරයා කීය.

    මෙරට වී නිෂ්පාදනයෙන් 22% ක් අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව විසින් නිෂ්පාදනය කරයි.

    අම්පාර දිස්ත්‍රික්කයේ කෘෂිකාර්මික සහ ධීවර ගැටලු රැසක් පිළිබඳ එහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කෙරණු අතර ඒ පිළිබඳ සොයා බලා කඩිනම් පියවර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා විශේෂ කමිටුවක් පිහිටුවීමට ද උපදෙස් දුන්නේය.

    අම්පාර හාඩි උසස් තාක්ෂණ ආයතන ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා

    “ආහාර සුරක්ෂිතතා වැඩසටහන අම්පාර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වීම ගැන සමලෝචනය සඳහා මම මෙතනට පැමිණියේ. වැඩසටහන ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක වීමේ දී තිබෙන අඩු පාඩු පිළිබඳවත් අපි හඳුනා ගත්තා. කාබනික පොහොර ගැටලුව ඉදිරිපත් වුණා. පසුගිය වසරේ කාබනික පොහොර බෙදාදීම සිදු කළේ අමාත්‍යාංශයෙන්. නමුත් මේ වසරේ අපි එය භාර දි තිබෙන්නේ සමාගම්වලට. ඉතින් ඒ සමාගම් පොහොර ලබාදීම සිදු කරයි.

    එක ගැටලුවක් තිබෙනවා, පසුගිය වසරේ රුපියල් බිලියන 08ක බිල්පත් තිබෙනවා සමාගම් සඳහා ගෙවීමට. අපි ඒවා ගෙවීම දැන් ආරම්භ කරලා තිබෙනවා. ඉන් බිලියන 04ක් විතර අපි මේ වන විට ගෙවා තිබෙනවා.

    දෙවනුව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මේ සඳහා සම්බන්ධ කර ගැනීම පිළිබඳ සාකච්ඡා කරලා අවශ්‍ය නිලධාරීන් ලබා දෙනවා. අපි මේ වැඩපිළිවෙළේදී එක කණ්ඩායමක් ගැන සඳහන් කළේ නැහැ. ඒ ත්‍රිවිධ හමුදාව. ඔවුන්ගේ ගොවිපොළවල්වලින් විශාල නිෂ්පාදනයක් සිදු වෙනවා. ඒ නිසා ත්‍රිවිධ හමුදාවත් අපි මේකට සම්බන්ධ කර ගත යුතුයි.
    ලංකාවේ මෙවැනි වැඩසටහනක් ක්‍රියාත්මක කරන පළමු අවස්ථාව මෙය. මෙහෙම තත්ත්වයක් මීට පෙර ලංකාවේ ඇතිවී තිබුණේ නැහැ.

    දෙවන ලෝක යුද්ධයේදී ආහාර ගේන්න බැරි වුණාට ආර්ථිකය කඩාගෙන වැටුණේ නැහැ. දැන් ආර්ථිකය කඩා වැටිලා තිබෙන්නේ. පසුගිය වසරට වඩා මේ වසරේ මේ ආර්ථිකය ගොඩ අරගෙන තිබෙනවා. තවම ගැටලු තිබෙනවා. අපි මුදල් මුද්‍රණය කරන්න ගියොත් උද්ධමනය වැඩි වෙනවා. තිබෙන මුදල් එක්ක වැඩ කරද්දි සීමා ඇති වෙනවා. කෙසේ හෝ අපි සියලුදෙනා එකතු වෙලා මේ ප්‍රශ්නවලට විසඳුම් සෙවිය යුතුයි.
    දැනට තිබෙන්නේ තමන්ගේ ප්‍රදේශවල මේ වගා කටයුතු ආරම්භ කරන්න. ඒ ගැන වාර්තා කරන්න. දෙවනුව අපිට වැඩිපුර අවශ්‍ය ආහාර වර්ග ගැන අපේ ආහාර සුරක්ෂිතතා කාර්යාංශයෙන් දැනුම් දෙයි.
    වී වගාව ගැන ප්‍රශ්නයක් නැහැ. මේ කන්නය සාර්ථක වුණොත් අපිට අතිරික්තයක් තිබෙනවා. බඩඉරිගු වැනි බෝග වගාවන් වැඩිකරගන්න ඕන. ඒ සඳහා ඉඩ කඩ ලබා ගනිමින් ඒ කටයුතු සිදු කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා.

    බිම් මට්ටමේ සිට මේ වැඩකටයුතු කරන නිලධාරීන් සියලුදෙනාම අපි මේ වැඩසටහනට එකතු කරලා තිබෙනවා. පළමුව අපි ආහාර සුරක්ෂිතාව ඇති කළ යුතුයි. දෙවනුව මන්ද පෝෂණය තුරන් කිරීම සඳහා ආහාර ලබාදීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා. අපිත් ඒවට ආධාර උපකාර කරනවා. ඒ සඳහා ආහාර බැංකු, ප්‍රජා මුලුතැන්ගෙය මෙම වැඩසටහන් ඇති කරලා තිබෙනවා.
    මොකද අපි මේ ගත කරන්නේ අසීරු කාලයක්. ඒත් කාටවත් ආහාර නැතිව ඉන්න අපි ඉඩ දෙන්න හොඳ නැහැ. ඉදිරියේ දි මහ කන්නය සාර්ථක වුණහාම මේ තත්ත්වයෙන් අපිට ඉදිරියට යන්න පුලුවන්. මේ වැඩපිළිවෙළ 2023 අවසන් වෙනකන් අපි ඉදිරියට ගෙන යන්න ඕන. මොකද අපේ මේ ප්‍රශ්නය විසඳුනත් ගෝලීය ආහාර අර්බුදයක් මතු විය හැකි නිසා මේ රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා මේ වැඩසටහන ඉදිරියට ගෙන යන්න වෙනවා.

    ඒ වගේම මෙම ආහාර සුරක්ෂිතතා යාන්ත්‍රණය මෙතතින් නතර කරන්නේ නැහැ. මෙය ක්‍රියාත්මක කරන ගමන් ලබන වසරේ සිට කෘෂිකර්මාන්තය නවීකරණය කරන වැඩසටහන් අපි ආරම්භ කරනවා. එහෙම නම් අපි අලුත් වැඩකටයුත්තක් භාරගෙන තිබෙන්නේ. ඒ සඳහා අපි සියලුදෙනා එකට එකතු වෙලා වැඩ කරන්න ඕන.

    මේ වැඩකටයුත්තේ දී අපට තිබෙන්නේ පක්ෂ දේශපාලනය නෙවේ, සම්ප්‍රදායික දේශපාලනය මේකට වැඩක් නැහැ.පක්ෂ දේශපාලනය පැත්තකට දාන්න. ජනතාවගේ ආහාර ගැටලුව විසඳන දේශපාලනයට අපි යන්න ඕන. ඒ වැඩපිළිවෙළට අපි එකතු වෙමු. මහ කන්නයේ සාර්ථක අස්වැන්නක් ලබන්න දැන් සිට අප්‍රේල් දක්වා නිෂ්පාදන වැඩසටහන ක්‍රියාත්මක කළ යුතුයි.
    නිදහසින් පසු ආරම්භ කළ පළවෙනි වාරි ව්‍යාපෘතිය තිබෙන්නේ අම්පාර දිස්ත්‍රික්කයේ ඩී.එස්. සේනානායක මහතා ආරම්භ කළ ගල්ඔය ව්‍යාපාරය. එම ව්‍යාපෘතියට කාගෙන්වත් ණය ගත්තේ නැහැ. අධාර ගත්තෙත් නැහැ. යුද්ධයෙන් පස්සේ අපි එංගලන්තයට ණය දීලා ඉතිරි මුදල් තමයි ගල්ඔය ව්‍යාපාරය හැදුවේ.

    මම බලාපොරොත්තු වෙනවා අම්පාර දිස්ත්‍රික්කයෙන් රටට වුවමනා ආහාරවලින් වැඩි ප්‍රමාණයක් ලබා දෙයි කියල. මේ කටයුත්තේ දී දේශපාලන බේදයක් නැතිව සියලු මන්ත්‍රීවරු, සංවිධායකවරු එකතුවෙලා මේ වැඩසටහන කරන්න. කෘෂිකර්ම අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉදිරියේදී මේ ප්‍රදේශයට පැමිණෙයි මේ වැඩසටහනේ ප්‍රගතිය ගැන බලන්න.

    ඔබ සියලුදෙනා මේ වැඩකටයුතුවල නිරත වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා. අපි මුහුණ දී සිටින මේ අභියෝගය මීට පෙර අපි මුහුණ දුන් එකක් නොවේ, අපේ දෙමාපියන් මුහුණ දුන්නෙත් නැහැ. අපේ මුතුන් මිත්තන් මුහුණ දුන්නෙත් නැහැ. මේ අලුත් තත්ත්වයක්. අපි මෙය නිසි ලෙස හදුනාගෙන වැඩ කළොත් මේ අභියෝගය ජයගෙන ශක්තිමත්ව ඉදිරියට යන්න පුළුවන්. ඒ සඳහා සියලුදෙනාගේ සහයෝගය ඉල්ලා සිටිනවා.”

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.