fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්නඩු යන්නේ නැතිව වන්දි ගන්න ක්‍රමයක්

    නඩු යන්නේ නැතිව වන්දි ගන්න ක්‍රමයක්

    වැඩබිමේ කම්කරුවාට සිදුවන අනතුරක දී රක්ෂණ අරමුදලක් හරහා නඩු නොමැතිව වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරන බවත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ දැඩි නීතිරීති පනවා හෝ වැඩබිමේ කම්කරුවාගේ සෞඛ්‍ය සහ සුරක්ෂිතතාව තහවුරු කරන බවයි.

    කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ ආරම්භ වූ ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතියේ සමාරම්භක සැසිය අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    සෑම වසරක ම ඔක්තෝබර් දෙවන සතිය ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය සතිය ලෙසින් කැබිනට් මණ්ඩලය විසින් ම ප්‍රකාශයට පත් කර ඇති බවත්, වැඩ කරන ජනතාවගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන්නේ නම් ආර්ථික ඵලදායීතාවයේ උපරිමය ළඟා කර ගත නොහැකි බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    “අපේ රටේත් වෘත්තීය අනතුරුවලින් විතරක් හැම අවුරුද්දක ම වැඩ කරන මිනිස් දින ලක්ෂ පහකට වැඩි ප්‍රමාණයක් අපතේ යනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මරණීය අනතුරු විස්සකට වැඩි ප්‍රමාණයක් වාර්තා වෙනවා. මේ බොහෝ අනතුරු සිදු වෙන්නේ ඉහළ ස්ථානවල වැඩ කරද්දී නිසි සුරක්ෂිතතා ක්‍රියාමාර්ග අනුගමනය නොකිරීම නිසයි. මෙමගින් සිද්ද වෙන මානව හා ආර්ථික හානිය මූල්‍යමය වශයෙන් සැලකුවොත් ඉතා විශාලයි.

    ඒ නිසා තමයි වැඩකරන ජනතාවගේ වෘත්තීය සුරක්ෂිතතාව සහ සෞඛ්‍ය සම්බන්ධයෙන් නිසි අවධානයෙක් යොමු නොකර ආර්ථික ඵලදායීතාවයේ උපරිම මට්ටමට ළඟා වෙන්න බැරි.

    මේ සියල්ල අනතුරක් වෙන්න පෙර කළ යුතු දේවල්. අනතුරක් වළක්වා ගන්න, වැඩ බිමේ දී අනතුරක් සිදු නොවෙන්න කළ යුතු දේවල්. අමාත්‍යංශ ලේකම්වරයා, කම්කරු කොමසාරිස් ජෙනරාල්වරයා පුමුඛ දෙපාර්තමේන්තු නිලධාරීන් මේ වන විට ජාත්‍යන්තරයත් සමග සම්බන්ධ වෙමින්, ලෝක කම්කරු සංවිධානයේ සහයෝගය ඇති ව මේ සම්බන්ධයෙන් ඉතා ප්‍රශස්ත වැඩපිළිවෙළක් සකසමින් ඉන්නවා.
    අපි රජයක් විදියට එවන් තත්ත්වයකට පත් වන සියලු දෙනා ම ආවරණය වෙන විදියට සමාජ ආරක්ෂණ දැලක් නිර්මාණය කරනවා. නඩු නොගිහින් වන්දි ගෙවන ක්‍රමවේදයක්, රක්ෂණ අරමුදලක් හරහා වන්දි ගෙවන වැඩපිළිවෙළක් නිර්මාණය කරන්න කටයුතු කරමින් ඉන්නවා‘.”

    කර්මාන්ත ශාලා සදහා සුරක්ෂිතතා අත්පොත් ප්‍රදානය කිරීම, සුරක්ෂිතතා පුහුණු වැඩසටහනේ සහතිකපත් ප්‍රදානය, මාර්ගගත ක්‍රමය ඔස්සේ කර්මාන්තශාලාවල සුරක්ෂිතතා කමිටු පිහිටුවීම හා ස්වං විගණන වාර්තා ලබාගැනීම ද මෙහි දී සිදු කෙරුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.