fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාර්ලිමේන්තුව ගැන බොරු පුවතක් පළකළැයි මාධ්‍යවේදීන් දෙදෙනකුට අවවාද

    පාර්ලිමේන්තුව ගැන බොරු පුවතක් පළකළැයි මාධ්‍යවේදීන් දෙදෙනකුට අවවාද

    පාර්ලිමේන්තුවේ සමස්ත මන්ත්‍රීවරුන්ටම අපකීර්තියක් ගෙන දෙන අයුරින් අසත්‍යය ප්‍රවෘත්තියක් පළ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රධාන පෙළේ සිංහල දිනපතා පුවත්පතක පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව ඉදිරියට කැඳවා අවවාද කර තිබේ.

    “මැතිසබේ කැන්ටිමේ දියර කිරි හිඟවී මන්ත්‍රීවරු යකා නටති” යන සිරස්තලය යටතේ 2022 මාර්තු 09 දින එම පුවත්පතේ පළ කළ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදුකර තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා විසිනි.

    මෙම අසත්‍ය ප්‍රවෘත්තිය හරහා සමස්ත පාර්ලිමේන්තුව සහ මන්ත්‍රීවරුන් කෙරෙහි මහජනතාව තුළ වෛරයක් ඇතිවීමට හේතුවී ඇති බව කැටගොඩ මන්ත්‍රීවරයා පැවසීය.

    මේ පිළිබදව පාර්ලිමේන්තුවේ ආහාර හා ගෘහ පාලන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා‍ද කාරක සභාව ඉදිරියට කැඳවා තිබුණි.

    මෙහිදී ඔහු පවසා සිටියේ මේ පිළිබදව තමා සොයාබැලීමක් සිදුකළ බවත් එහිදී එවැනි කිසිදු සිදුවීමක් පිළිබද තොරතුරු වාර්තා නොවූ බවත්ය.

    මේ අනුව අසත්‍ය තොරතුරු පළ කිරීමක් මගින් සමස්ත පාර්ලිමේන්තුවේම ගෞරවයට හානියක් සිදුවී ඇති බව පෙනී යන බවත්, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදීන් ලෙස වඩාත් වගකීමෙන් යුතුව වාර්තාකරණයේ නියැලීමේ අවශ්‍යතාවත් කාරක සභා සභාපතිවරයා ඊයේ (04) පෙන්වා දී ඇත.

    මෙහිදී අධිකරණයමය ක්‍රියාමාර්ගවලින් තොරව මෙය විසදා ගැනීමට දෙපාර්ශවය එකග වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනය කළේ ය.

    මේ අනුව මෙම අසත්‍ය තොරතුරු පළ කිරීම පිළිබදව කනගාටුව පළ කරමින් ප්‍රකාශයක් සති දෙකක් තුළ පෙර ප්‍රවෘත්තියට ලබා දුන් ප්‍රසිද්ධියම ලබා දෙමින් අදාළ පුවත්පතේ පළ කිරීම සහ එහි පිටපතක් සතියක් තුළ පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත එවීම, ඉදිරියේදී පාර්ලිමේන්තුව හෝ මන්ත්‍රීවරුන් කෙරෙහි එවැනි අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශ පළකිරීමෙන් වළකින බවටද එකගවීම යන කොන්දේසිවලට යටත්ව මෙය සමථයකට පත්කරන බව කාරක සභා සභාපතිවරයා පැවසීය.

    එසේම මේ පිළිබඳව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙස පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයාට ලිඛිතව දන්වන ලෙසද නියෝග කළේය.

     

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.