fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රී ලංකාවට දෙන GSP+ සහන ගැන යළි තක්සේරුවක් - වාර්තාව ළඟදිම..

    ශ්‍රී ලංකාවට දෙන GSP+ සහන ගැන යළි තක්සේරුවක් – වාර්තාව ළඟදිම..

    ශ්‍රී ලංකාවේ GSP+ කැපවීම් පිළිබඳ ප්‍රගතිය ඉතා ඉක්මනින් යුරෝපා සංගමය විසින් තක්සේරු කරනු ඇති බව යුරෝපා කොමිසමේ සභාපති උර්සුලා වොන් ඩර් ලේන් පවසයි.

    එම වාර්තාව මේ වසරේ අග භාගයේදී හෝ 2023 මුල් භාගයේදී නිකුත් කිරීමට නියමිත ය.

    එමගින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ කෙටි හා දිගු කාලීන අවශ්‍යතා සහතික කෙරෙන ප්‍රතිපත්ති හඳුන්වාදීමට සහ මෙහෙයවීමට අපේක්ෂා කෙරෙන බව ඇය පෙන්වා දෙයි.

    GSP+ කැපවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය පිළිබඳව යුරෝපා සංගමය විසින් කරන ලද තක්සේරුව පිළිබඳව ද අවධානය යොමු කර ඇති බව ඇය අවධාරණය කළාය.

    ශ්‍රී ලංකාවේ ජනතාව පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටින මොහොතක, අවශ්‍ය ප්‍රතිසංස්කරණ කරමින්, එම අර්බුදය සාර්ථකව ජයගැනීමට ශ්‍රී ලංකාව දරන ප්‍රයත්නයන්ට සහාය වීමට යුරෝපා සංගමය කැපවී සිටින බව ද ඇය සඳහන් කළාය.

    රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් යුරෝපා කොමිසමේ සභාපතිනිය මේ බව දන්වා තිබේ.

    ශ්‍රී ලංකා රජය ගෙනයන මෙම ක්‍රියාවලියේදී අදහස් ප්‍රකාශ කිරීමේ සහ රැස්වීමේ නිදහස සහ සියලුම පාර්ශ්වකරුවන් අතර සංවාදයක් මෙන්ම නීතියේ ආධිපත්‍යයට සහ මූලික අයිතිවාසිකම්වලට ගරු කිරීම අත්‍යවශ්‍යව පවතින බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.

    පෙර නොවූ විරූ ආර්ථික පසුබෑමේ විනාශකාරිත්වයෙන් සාර්ථකව ගොඩ ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය සාර්ථක වේවායි දි ප්‍රාර්ථනය කරන උර්සුලා වොන් ඩර් ලේන් මහත්මිය ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ ණය හිමියන් සමඟ කරන සාකච්ඡා හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව සිදු කෙරෙනු ඇතැයි ද විශ්වාසය පළ කර තිබේ.

    හවුල් වටිනාකම් සහ පොදු අවශ්‍යතා සඳහා වූ කැපවීම් මත පදනම්ව, දෙරටේ බැදීම් සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට සමීපව කටයුතු කිරීමට ද යුරෝපා කොමිසමේ සභාපතිනිය කැමැත්ක පළ කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.