fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කජීමාවත්ත කලිනුත් 3 වරක් ගිනිඅරන් - අගමැති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

    කජීමාවත්ත කලිනුත් 3 වරක් ගිනිඅරන් – අගමැති කඩිනම් වාර්තාවක් ඉල්ලයි

    මෝදර මාදම්පිටිය කජීමාවත්තේ නිවාස, මීට පෙරද වසර එකහමාරක් තුළ තුන් වතාවක් ගිනිගෙන ඇති බවට අද අනාවරණ වී තිබේ.

    ඒ, කොළඹ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද(28) පෙරවරුවේ අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේදී ය.

    මෝදර මාදම්පිටිය කජීමාවත්තේ නිවාස ගිනිගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවසාන වාර්තාවක් කඩිනමින් සකසන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඒ සඳහා පත් කළ කමිටු නිලධාරීන්ට එහිදී උපදෙස් දී තිබේ.

    මීට පෙර ද මෙම නිවාස ගිනිගැනීමට ලක්ව තිබූ බැවින් පෙර පරීක්ෂණ වාර්තාද සැලකිල්ලට ගෙන අවසාන වාර්තාව සකසන්නැයි අග්‍රාමාත්‍යවරයා නියෝග කර ඇත.

    නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම වත්ත, ස්ථිර පදිංචි කිරීම්වලට පෙර අතරමැදි නවාතැනක් ලෙස පවත්වාගෙන යාම නතර කිරීමට හැකියාව පවතීද යන්න වාර්තා කරන ලෙස ද අගමැතිවරයා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියට දැනුම් දී ඇත.

    මෙම ස්ථානයේ අනවසර පදිංචිවීම් බහුල වශයෙන් සිදුවන බවට රැස්වීමේදී තොරතුරු අනාවරණය වීම නිසා මේ සම්බන්ධයෙන් සොයාබැලිය යුතු බව ඔහු සඳහන් කළේය.

    නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය  ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ ක‍ළේ කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ස්ථාපිත කර මෙම ගින්න සහ එම ස්ථානයේ අනවසර පදිංචිවීම් ගැන ගතයුතු පියවර පිළිබඳ සොයාබලා, එම කමිටුවේ වාර්තාව අනුව තීරණ ගතයුතු බවය.

    ආහාර, තාවකාලික නවාතැන්, පාසල් දරුවන්ට අවශ්‍ය උපකරණ, ගින්න හේතුවෙන් අවතැන් වූ ජනතාවට අවශ්‍ය සහන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් කඩිනමින් සපයා ඇති බවද මෙම රැස්වීමේදී අනාවරණ විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.