fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බුබුළ බි‍‍ඳ‍ෙයි - වාහන මිල වේගයෙන් පහළට

    බුබුළ බි‍‍ඳ‍ෙයි – වාහන මිල වේගයෙන් පහළට

    මෙරටට වාහන ආනයන සීමා පැනවීමත් සමඟ ඇතිව තිබූ තාවකාලික බුබුලක් හේතුවෙන් අසාමාන්‍ය ලෙස අහසට උසට නැගෙමින් තිබූ වාහන මිල අද වන විට ශීඝ්‍ර ලෙස පහත බසිමින් පවතින බව වාහන ආනයනකරුවෝ පවසති.

    මේ මාසයේ සිට ක්‍රියාත්මක වී තිබෙන පොලී අනුපාත ඉහළ යාම, දිගින් දිගටම ඉන්ධන මිල ඉහළ යාම සහ මේ වනවිට අමතර කොටස් හිඟයක් රට තුළ මතුව තිබීම ආදි ගැටලු හේතුවෙන් මෙලෙස වාහනවල මිල පහත ගොස් ඇත.

    කෙසේ වෙතත් වාහනවල මිල පහළ ගිය ද අමතර කොටස් හා වාහන නඩත්තු ගාස්තු අධික ලෙස ඉහළ ගොස් ඇත්තේ, වාහන හිමිකරුවන් තම නිවෙස්වල පවතින වාහන නඩත්තු වියදම් දරාගත නොහැකිව විශාල වශයෙන් විකිණීමට පොළඹවමිනි.

    අමතර කොටස් මිල ඉහළ යාමෙන් ජීවිකාව වෙනුවෙන් කුලී සේවා සපයන ත්‍රීරෝද රථ රියදුරන්ට ද එල්ලවී ඇති බලපෑම සුළුපටු නොවේ.

    මෙම තත්ත්වය හමුවේ මෙරට තුළ වාහන අලුත්වැඩියා කරන ස්ථාන ද සීඝ්‍රයෙන් වැසෙමින් ඇති බවට වාර්තා පළවිය.

    ඒ අනුව වාහන අලුත්වැඩියා කරන ස්ථානවල රැකියාවල නියුතුවූවන් බහුතරයට සිය ආදායම් මාර්ග අහිමි වී ඇත.

    ලීසිං පදනම් යටතේ මිලට ගත් වාහන හිමිකරුවන් බොහෝදෙනා ද පැරණි ලීසිං වාරික පොලිය යටතේ ගෙවාගෙන යාමට ඉඩදෙන බව පවසමින් වාහන අලෙවියට දැමීමට පෙළඹෙමින් සිටී.

    ඒ රැකියා අහිමිවීම්, ආදායම් අවිනිශ්චිත වීම්, ඉහළ භාණ්ඩ මිල හමුවේ ලීසිං ගෙවාගත නොහැකි තත්ත්වයට පත්වීම ආදි කරුණු හේතුකොටගෙන බව පෙනී යන්නකි.

    පෙර පැවති 17% ක පමණ ලීසිං පොලී අනුපාත මේ වනවිට 25% – 30% මට්ටමට පැමිණ තිබේ.

    වසර දෙකකට අධික කාලයක් තිස්සේ වාහන ආනයනය ‍තහනම් කිරීමත් සමඟ මෙරට තුළ පැරණි වාහන, ඇතැම් විට වසර 20-30 පැරණි වාහන මිල පවා අතිශය අසාමාන්‍ය ලෙස ඉහළ ගියේ ය.

    මෙය තාවකාලිකව මතුවන බුබුලක් බවත් ආනයනයට ඉඩදීමත් සමඟ වාහන මිල පහත යනු ඇති බවත් එවකට මහබැංකු අධිපතිවරයා පවසා තිබුණි.

    කෙසේ හෝ වේවා මෙරට තුළ අලුත් වාහන නොමැති අවස්ථාවල භාවිත කරන ලද පැරණි වාහන මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගියේ ඇතැම් විට සිව්ගුණයකටත් වඩා වැඩි මිලකිනි.

    එම කාලය තුළ මෙරට තුළ කොටස් ගෙන්වා මෙරට එකලස් කිරීමේ ක්‍රමවේදයට ආරම්භ කර තිබූ අලුත් වාහන කිහිපයක් හඳුන්වා දුන් අතර එම වාහන දැනටත් අලෙවිවෙමින් පවතී.

    එහෙත් ඉන් ඇතැම් වාහන යම් මිලකින් ආරම්භ කළ ද ඉහළ මිල ගණන්වලට අලෙවි කිරීමත් සමඟ සීඝ්‍ර අලෙවියක් දැකගත හැකි නොවේ.

    එවැනි මෙරට තුළ එකලස් කරන තවත් ඇතැම් වාහන රුපියල් කෝටියකට අධික මිලකින්ම අලෙවිය කිරීම නිසා රට තුළ ආර්ථික අර්බුදය, ඉන්ධන ගැටලු ආදිය හේතුවෙන් ඒවායෙහි ද අලෙවිය මන්දගාමී ස්වරූපයක් ගනී.

    මේ අතරතුර ඉන්ධන ප්‍රශ්නයට විසඳුම් ලෙස මෙරට නිෂ්පාදිත විදුලි මෝටර් රථයක් හඳුන්වා දෙන ලද අතර තවම එය වෙළෙඳපොළට පැමිණ නැතත් එහි ප්‍රකාශිත මිල ගණන් සමඟ ඒවායෙහි තත්ත්වය පිළිබඳව ද ජනතාව තුළ එතරම් ප්‍රසාදයක් දක්නට නොමැත.

    එමෙන්ම වර්තමානයේ විදුලි යතුරුපැදි, පාපැදි සඳහා ද ඉල්ලුමක් ඇතිවෙමින් තිබේ. එවැනි නිෂ්පාදන මෙරට තුළ සිදුකරනු ද දක්නට හැකි ය.

    පවතින ආර්ථික අර්බුදයක් හමුවේ මෙරට එකලස් කරන ලද විදුලි වාහනයක් අඩු මිලට, හැකි උපරිමයෙන් උසස් තත්ත්වයෙන් වෙළෙඳපොළට නිකුත් කර, සූර්ය පැනල සඳහා සහන මිල යටතේ නිවෙස් වෙත ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නම් මෙරට තුළ වාහන ගැටළුව, ඉන්ධන අර්බුදය මෙන්ම විදුලි අර්බුදයට ද එකවර විසඳුම් ලැබෙන තත්ත්වයකට පත්වනු ඇති බව ජනතාව මත පළකරති.

    පසුගිය අයවැය යෝජනා සම්මතයක් මගින් මෙරට රාජ්‍ය සේවය සඳහා ඉදිරියේදි ඉන්ධන වාහන ආනයනය මුළුමනින්ම නවතා දැමීමට තීරණය කර ඇත.

    එමෙන්ම විදෙස්ගත ශ්‍රමිකයින් සඳහා නීත්‍යනුකූල ක්‍රමයට මෙරටට මුදල් එවන්නේ නම්, සීමාවලට යටත්ව විදුලි මෝටර් රථ ආනයනයට බලපත්‍ර ක්‍රමයක් ද දැන් හඳුන්වා දී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.