fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්මේජර් සෙනවිරත්න බිම් බෝම්බ දෙකකින් UN සෙබළුන්ගේ දිවි රැකදෙයි

    මේජර් සෙනවිරත්න බිම් බෝම්බ දෙකකින් UN සෙබළුන්ගේ දිවි රැකදෙයි

    මාලි රාජ්‍යයේ ගෝත්‍රික ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් එක්සත් ජාතීන්ගේ රාජකාරීන්හී නිරත හමුදා භටපිරිස් ඉලක්ක කරගනිමින් මාර්ගයේ අටවා තිබූ බිම් බෝම්බ දෙකක් සොයා ගනිමින් සෙබළු රැසකගේ දිවි බේරා දීමට සමත්වූ 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ආර්.ඒ.ඩී.එම්.ඩී. සෙනෙවිරත්නට විශේෂ සේවා පදක්කමක් පිරිනමා තිබේ.

    මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ආඥාපති ලුතිතන් ජෙනරල් කොරනේලිස් ජොහාන්ස් මත්තිසේන් (Cornelis Johannes Matthijssen) විසින් ශ්‍රී ලංකාවේ 4 වන යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම – මාලි (CCC) භටපිරිස්හී වෘත්තීය නිපුණත්වය අගය කරමින් බිම්බෝම්බ දෙක සොයාගත් 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ආර්.ඒ.ඩී.එම්.ඩී. සෙනෙවිරත්න වෙත විශේෂ සේවා ඇගයීම් පදක්කමක් ද ප්‍රදානය කර ඇති බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි.

    ඒ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන්ය.

    මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම – මාලි (CCC) භටපිරිස් දැඩි වෘත්තීමය නිපුණත්වයෙන් සහ පළපුරුද්දකින් යුතුව සිය සේවය ඉතා උසස් අන්දමින් සිදුකරනු ලබන අතර ඒ හේතුවෙන් 12 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ආර්.ඒ.ඩී.එම්.ඩී. සෙනෙවිරත්න වෙත පසුගිය දා විශේෂ සේවා පදක්කමක් පිරිනැමිණි.

    පසුගිය දා ගාඕ සිට මාලි රාජ්‍යයේ කිඩාල් ප්‍රදේශය දක්වා වූ භටකාර්ය සම්පාදන රථ පෙළපාලියක ගමනාගමනය අතරතුර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායමේ පරික්‍ෂා කිරීමේ සහ හඳුනාගැනීමේ කණ්ඩායම විසින් බිම් බෝම්බ දෙකක් හඳුනාගැනීමෙන් අනතුරුව සිදුවීමට තිබූ විශාල පිපිරීමක් වළක්වාලමින් එම බිම් බෝම්බ දෙක නිෂ්ක්‍රීය කිරීමට සමත්විය.

    මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම – මාලි (CCC) 2017 වර්ෂයේ සිට මාලි රාජ්‍යයේ රථවාහන ආරක්‍ෂණ රාජකාරීන්හී නිරතව සිටියි.

    පරික්‍ෂා කිරීම් සහ හඳුනාගැනීමේ ක්‍රියාන්විත සඳහා වගකිව යුතු නිලධාරියා වශයෙන් මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ආඥාපති විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංග්‍රාමික ප්‍රවාහන කණ්ඩායම – මාලි (CCC) හී සුපරීක්‍ෂාකාරී බව, අවධානය, කඩිසරකම සහ වෘත්තීය කළමනාකාරිත්වය පිළිබඳව පැසසුමට ලක්කර ඇත.

    පසුගිය මාස 2-3 තුළ, මාලි රාජ්‍යයේ ගෝත්‍රික ත්‍රස්තවාදී කණ්ඩායම් එක්සත් ජාතීන්ගේ රාජකාරීන්හී නිරත හමුදා භටපිරිස් ඉලක්ක කරගනිමින් ඔවුන්ගේ දරුණු අභ්‍යන්තර ප්‍රචණ්ඩ ක්‍රියා තීව්‍ර කර ඇත. එමෙන්ම, ඔවුන්ගේ කුරිරු සහ දරුණු ත්‍රස්තවාදී ප්‍රහාර එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා යොදවා ඇති සියලුම එක්සත් ජාතීන්ගේ භටපිරිස් වෙත ප්‍රබල තර්ජනයක් එල්ල කර ඇත.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.