fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවකයන්ට මේ මාසේ වැටුප ලැබෙනවා ද ?

    රාජ්‍ය සේවකයන්ට මේ මාසේ වැටුප ලැබෙනවා ද ?

    කවදාවත් ලංකාවේ ආණ්ඩුව පඩි නොගෙවා ඉන්නෙ නෑ. පඩිනොගෙවා ඉන්නෙ නැත්තෙ, එහෙම පඩි නොගෙවා ඉන්න බෑ. ඒ සඳහා හොයාගෙන ගෙවන කොට වෙනත් ගෙවීම් අඩු කරලා තමයි පඩි ගෙවන්නෙ යැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

    ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා රාජ්‍ය සේවකයන්ට මේ මාසේ වැටුප ලැබෙනවා දැයි අද (22) පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම් ප්‍රකාරව සල්ලි අච්චු ගහන්න විදියකුත් නැති බවත් රාජ්‍ය සේවක වැටුප් ගෙවන්න සල්ලි නැති බවත් ජාතික පුවත්පතක් අද ප්‍රධාන පුවතින් වාර්තා කර තිබිණි. ඊට මූලාශ්‍ර වී තිබුණේ ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාය.

    මේ සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී මෙසේ විමසා සිටියේය.

    ඇමතිතුමනි පොඩි කරුණක් නිරාකරණය කරගන්න අවශ්‍යයයි. එකක් තමයි ඔබතුමා ප්‍රකාශ කළා, රජයේ සේවකයන්ට පඩි ගෙවන එකට මුදල් ප්‍රශ්නයක් තියෙනවා. ගැටලුවකට මුහුණ දීලා තියෙනවා කියලා. අද අපි ගෙවන්නේ මාසේ 22 වැනිදා දැන් මේ 25 වැනිදා වෙනකොට රජයේ සේවකයන්ගේ වැටුප් ගෙවන්න නියමිතයි. ඔබ ඒ පණිවුඩය ලබා දෙන්න රාජ්‍ය සේවකයන්ට මේ මාසේ වැටුප හම්බවෙන්නෙ නෑ කියන එක ද කියලා දැනගැනීමට අවශ්‍යයයි.

    ඒ වගේම ඇමතිතුමනි ඔබේ කරුණු පැහැදිළිකිරීමේ දී ඉදිරිපත් වුණා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තියෙන එකඟතාවය අනුව මුදල් අච්චු ගහන්න බෑ කියලා. හැබැයි මේ සභාවේ අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තියෙන එකඟතාව හෙළිකරන්න කියලා, තමුන්නාන්සෙලා කිවුවා එහෙම එකඟතාවක් නැහැ. එහෙම හෙළිදරව් කරන්න බැහැ කියලා. හෙළිදරව් කරන්න දෙයක් නෑ කිවුවා. දැන් ඔබතුමාගේ කතාවේ දි ඉදිරිපත්කරනවා මූල්‍ය අරමුදල එක්ක එකඟවෙලා තියෙන විදියට මුදල් අච්චු ගහන්න විදියක් නෑ. ඒ හින්දා රජයේ පඩි ගෙවන්න විදියක් නෑ කියලා. මේ ඉදිරිපත් වනුනේ පරස්පර විරෝධී ප්‍රකාශයක්. ඒ නිසා පඩි ගෙවන විධිය පිළිබඳව නිශ්චිත දැනුවත් කිරීමක් කරන්න.

    උත්තරය – අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා

    ගරු ඔබතුමා ප්‍රථම වතාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන විද්වතෙක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ 16 වතාවක් සාකච්ඡා කරලා තියෙනවා. ණය අරන් තියෙනවා. පසුගිය රජයත් 1.5ක ණය ගත්තා. මමත් 1989 ඉදන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒ කිසිවෙලාවක සාකච්ඡා යන වෙලාවේ ඒ පිළිබඳව පාර්ලිමේන්තුවට කියලා නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවේ සමහර ඒවාට මම වෙනම පොතක් ගහලා තියෙනවා. ඒ හෙළිදරව් නොකරපු ගිවිසුම ඇතුළත් කරලා. ඊට පස්සේ මෑත ඉතිහාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට විලංගු කියලා ලංකාවේ සිතියමක් සහිතවත් පොතක් ලියලා තියෙනවා. ඒ නිසා එහෙම හෙළිදරව් කිරීමේ සම්ප්‍රදායක් නෑ. කවදාවත් ලංකාවේ ආණ්ඩුව පඩි නොගෙවා ඉන්නෙ නෑ. පඩිනොගෙවා ඉන්නෙ නැත්තෙ
    එහෙම පඩි නොගෙවා ඉන්න බෑ. ඒ සඳහා හොයාගෙන ගෙවන කොට වෙනත් ගෙවීම් අඩු කරලා තමයි පඩි ගෙවන්නෙ. ඒ නිසාතමයි කොන්ත්‍රාත්කරුවන්ට මම මහාමාර්ග ඇමතිවරයා ලෙස වගකීමට බැඳෙනවා ඒ සඳහා මුදල් ගෙවන්න. ගෙවන්නෙ නැත්තෙ ඒ මුදල් කපලා තමයි රජයේ සේවකයාට වැටුප් ගෙවන්නෙ. ප්‍රාග්ධන වියදම් කපලා තමයි රජයේ සේවකයාට වැටුප් ගෙවන්නෙ. එහෙම කරලා තමයි මේ මූල්‍ය කළමණාකරනය කරන්නෙ. ඒකයි මේ තියෙන අර්බුදය. තේරුම් ගන්න.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.