fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහජන මුදල් රු. බිලියන 8ක් වැයකළත් තාම එක වාර්තාවක්වත් නැති රැමිස්!

    මහජන මුදල් රු. බිලියන 8ක් වැයකළත් තාම එක වාර්තාවක්වත් නැති රැමිස්!

    රුපියල් බිලියන 8ක් වැය කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හඳුන්වා දුන් සිංගප්පූරු රැමිස් පද්ධතියෙන් මේ දක්වා එක වාර්තාවක් හෝ ලබා ගැනීමට හැකිවී නැතැයි ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවට අනාවරණය කළේය.

    ඒ අනුව මෙම ඇත්ත සැඟවීමට කටයුතු කළ නිලධාරීන්ට එරෙහිව පියවර ගත යුතුයැයි පෙන්වා දුන් ගාමිණී වලේබොඩ මහතා මෙම පද්ධතිය නිසා වර්ෂ 2020,2021 හා 2022 මේ දක්වා වාර්තා කිසිවක් බැලිය නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතැයි කියා සිටියේය.

    මේ පිළිබඳව ගාමිණි වලේබොඩ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

    අද විවාදයට ගන්න ප්‍රධාන කාරණාව තමයි රජයේ බදු ආදායම් සහ අනෙකුත් ආදායම් වැඩිකරගැනීම පිළිබඳව විකල්ප ක්‍රම අධ්‍යනය සහ ඒවා පිළිබඳව ඵලදායී සංවාදයක් කරලා අද ආර්ථිකය මුහුණදීලා තියෙන ගැටලුවලට, මේ ජන ජීවිතය මුහුණදීලා තියෙන ගැටලුවලට රාජ්‍යක් විදියට විසඳුම් ලබා ගැනීමට මේ මූල්‍ය බලතල තියෙන සභාවේ වැදගත් සාකච්ඡාවක් පැවැත්වීම.

    ඒ වැදගත් සාකච්ඡාවේදී මම පෙන්වා දෙන්න කැමතියි, දැන් අපේ රටේ රාජ්‍ය බදු ආදායම එකතුකරන්නෙ ප්‍රධාන ආයතන තුනක්. රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. 1977 වෙනකොට මේ රටේ පැවතිච්චි සංවෘත ආර්ථික ක්‍රමයට ගැලපෙන ආකාරයට තමයි මේ ආයතන තුනම පිහිටුවලා ක්‍රියාත්මක වෙමින් පැවතුනේ. විවෘත ආර්ථිකය ආරම්භවෙලා අවුරුදු 30ක් 35ක් යන තෙක්ම මේ දෙපාර්තමේන්තු තුළින් සාර්ව ආර්ථිකයට රාජ්‍ය ආදායමට, ආර්ථික සංවර්ධනයට, දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයට රජයේ ස්ථාවරත්වය පවත්වාගෙන යන්න ඔන කරන දායකත්වය ලබා ගැනීම පිළිබඳව රජයන්ගේ අවධානය යොමුවෙලා තිබුණේ නැහැ.

    ඒකේ ප්‍රතිඵලයක් විදියට 1980 වෙදි පත්කළා ජනාධිපති කොමිෂමක් බදු කොමිෂන් සභාව කියලා. ඒ අය අධ්‍යනය කරලා වාර්තාවක් ඉදිරිපත් කළා. ඊට අවුරුදු 10කට පස්සේ 1990 දිත් මේ වැඩේ කළා. මේ වාර්තාවලින් උපුටාගත්ත ඇතැම් නිර්දේශයන් සමඟ මේ දෙපාර්තමේන්තු අනූව දශකයේ අග භාගයේ දී ප්‍රතිව්‍යුහගත කරන්න පටන් ගත්තා. ඒ වගේම 2000 වර්ෂයෙන් පසු කාලයේ දී. නමුත් කියන්න කණගාටුයි ඒ ප්‍රතිව්‍යුහගත කිරීම් නිවැරදි ආකාරයට නිවැරදි සැළසුම්ගත ක්‍රියාවලියට සිද්ධකරගන්න බැරිවීමේ ප්‍රතිඵලයක් විදියට අද ඒ දෙපාර්තමේන්තු පවතින්නෙ, ඒ දෙපාර්තමේන්තු පැවතිය යුතු කාර්යක්ෂමතාවයෙන් සියයට 50කට 60කට වඩා අඩු මට්ටමක කියන එක කණගාටුවෙන් වුණත් මේ සභාවට ප්‍රකාශ කරන්න කැමතියි.

    විශේෂයෙන්ම මේ ආයතන තුනේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අවුරුදු විසිගණනක් තිස්සේ අත්දැකීම් තියෙන පුද්ගලයෙක් විදියට, රටේ පුරවැසියෙක් විදියට සහ හිටපු නිලධාරියෙක් විදියට මේ තත්ත්වය ඉතා සෝචනීය බලපෑමක් රටේ ආර්ථිකයට කරලා තියෙන බව කිව යුතුයි. රටක ක්‍රමය අපි පාවිච්චි කරන්නේ රටේ සාර් ආර්ථිකයේ, නිෂ්පාදනය, විවිද ක්ෂේත්‍ර දිරිගැන්වීම, විවිද ක්ෂේත්‍ර පුළුල් කිරීම, ආයෝජන අවස්ථා ලබාදීම සහ ආර්ථික සංවර්ධනය, ආර්ථික ප්‍රසාරණය, සඳහා පාවිච්චි කරන මෙවලමක් විදියටයි.

    අදායම් එකතුකර ගැනීම කියන එක බදු ක්‍රමයක එක මෙවලමක් විතරයි. නමුත් තුන්වැනි ලෝකේ රටවල් විදියට මේ බදු ක්‍රමය මෙතෙක් පාවිච්චි කරමින් ඉන්නේ රජයේ වියදම පියවගන්න ආදායම එකතුකර ගැනීමේ ක්‍රමයක් විදියට විතරයි. එහි ප්‍රතිඵලයක් විදියට පත්වෙන සියලුම රජයන් තමන්ගෙ වියදම් පියවා ගන්න අලුත් බදු හදුන්වලා දුන්නා අලුත් බදු අනුපාත හදුන්වලා දුන්නා බදු ක්‍රමයේ වෙනස්කම් කළා බදුගෙවන සීමාවන් පහළ ගෙනිච්චා ඉහළ ගෙනිච්චා මේවාට ප්‍රතිචාර දක්වන්න මේ දෙපාර්තමේන්තු පුරුදු වුණා. රජය මොන තීන්දුව ද ගන්නෙ ඒ තීන්දු ක්‍රියාත්මක කරන දෙපාර්තමේන්තු බවට මේ දෙපාර්තමේන්තු පත්වුණා.

    රජයේ ප්‍රතිපත්තිය අනුව ආර්ථිකය හැඩගස්සන දෙපාර්තමේන්තු නෙමෙයි. ඒ ආර්ථිකය මෙහෙයවන දෙපාර්තමේන්තු නෙමෙයි. එහෙම නැත්නම් ආර්ථිකයට මග කියන දෙපාර්තමේන්තු නෙමෙයි රජයේ අවශ්‍යතාව අදායම නම් ඒ ආදායම එකතුකරලා දෙන දෙපාර්තමේන්තු බවට පත්වුණා. ඒ වගේම ණය ආර්ථිකයක් ලංකාවේ ගොඩනැගුණට පස්සෙ,ණය වලින් ආදායම් ලැබෙන්නට ගත්තට පස්සෙ, ණයවලින් වැඩකරන්න ගත්තට පස්සෙ, විදේශ ණය මත යැපෙන ආර්ථිකයේ රාජ්‍ය ආදායම් උත්පාදනය කරන දෙපාර්තමේන්තුවට තිබුණ සැළකිල්ල නැත්තටම නැතිවෙලා ගියා. ඒකට අනුකූලව තමයි ඇතැම් රජයන් තීන්දු ගත්තෙ.

    දැන් උදාහරණයක් විදියට අපි දන්නවා 2019 දි බදු සංශෝධනයෙදි බදු සංශෝධන ටිකක් කළා. ඉතා විශාල බදු සංශෝධන ටිකක්. ඒකේ ප්‍රතිඵලය තමයි විශාල බදු අදායමක් අහිමි වුණා. අද අවුරුදු දෙකකට පස්සේ මේ සභාවේ වාද විවාද කරලා ඒ බදු ක්‍රමය නැවත ප්‍රතිස්ථාපනය කරලා, අලුත් බදු ක්‍රමයකට යන්න යෝජනා කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඒ නිසා.

    ඒ නිසා මේ බදු ආදායම් වැඩිකරන්න නම් ප්‍රථමයෙන්ම මේවායේ තියෙන ගැටලු මොනවා ද කියලා බලන්න උවමනායි. පළමුවෙනි ගැටලුව තමයි අපි මේ සියලු දෙනා අද එකතුවෙලා මේ දෙපාර්ත්මේන්තු තුන මත වැරදි පටවන්න කතා කළාට, මේ දෙපාර්තමේන්තුවල ඉන්න සේවකයින්ට අපි දොස් කිවුවට ප්‍රතිපත්ති සම්පාදනයේ වැරැද්දේ ප්‍රතිඵලය තමයි සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් මේ දෙපාර්තමේන්තු අකාර්යක්ෂම උනේ කියන කාරණාව අපට පිළිගන්න සිද්ධවෙනවා. මේක තමයි ඇත්ත කතාව.

    අපි අද එක බද්ධක් පනවනවා. තව සුමානයකින් තව බද්ධක් පනවනවා. කොහොමද මේ දෙපාර්තමේන්තු තමන්ගෙ පද්ධතියකට අනුව වෙනස් කරගන්නෙ. එහෙම වෙනස් කරගන්න බෑ. එළියෙ ඉන්න ව්‍යාපාරිකයන්ට එයාලට ගැලපෙන විදියට ඒ පද්ධති වෙනස් කරගන්න බෑ. නිෂ්පාදනය අඩාල වෙනවා. ඒ ගොල්ලන්ගෙ ව්‍යාපාර කටයුතු කරගන්න බැරි තත්ත්වයට පත්වෙනවා. මේකට උත්තරයක් විදියට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව හැදුවා පද්ධතියක් රැමිස් පද්ධතිය කියලා. ඒ රැමිස් පද්ධතිය හදන්න පටන්ගෙන මේ වනකොට රුපියල් මිලියන 8000ක් වියදම් කරලා තියෙනවා. රුපියල් බිලියන 8ක්. මුදල් නියෝජ්‍ය ඇමතිතුමා ඉන්නවා, දෙපාර්තමේන්තුවේ අයත් ඇවිල්ලා ඇති. පුළුවන්ද එක රිපෝට් එකක් ගන්න ?

    මේක සිංගප්පූරුවට පවරලා දුන්නා. මේක පටන් ගන්න වෙලාවේ අපි කිවුවා මේක මෙහෙම කරන්න එපා කියලා. මේකට පයිලට් ව්‍යාපෘතියක් කරන්න. මේකට සාම්පලයක් කරලා ඒක සාර්ථක වුණාට පස්සේ මේක හඳුන්වලා දෙන්න කියලා. එහෙත් මේක මුළු දෙපාර්තමේන්තුවටම හඳුන්වලා දුන්නා.

    අද වෙනකොටත් දෙපාර්තමේන්තුවේ 2019 දීපු බදු වාර්තා ටික විතරයි බලන්න පුළුවන්. 2020, 2021 දැන් 2022ත් ඉවර වෙන්න යනවා.

    මේ සම්පූර්ණ රැමිස් පද්ධතිය විසින් පරිගණක පද්ධතියක් ගොඩනගන්නේ සේවකයන්ට නිලධාරීන්ට ඒ තියෙන යාන්ත්‍රණයට සහය දක්වන්න. ඒ පරිගණක පද්ධතිය විසින් කරන්නෙ නිලධාරීන්ට සහය දක්වන එකයි. අද මේ පරිගණක පද්ධතියෙ වහල්ලු බවට කොමසාරිස් ජනරාල්වරයාගේ ඉඳන් පහළම සේවකයා දක්වා පත්කරලා තිබෙනවා. මේ තත්ත්වය හෙළිදරව් වෙන්න දෙන්නෙ නෑ. මුදල් අමාත්‍යාශයට හෙළිදරව් කරන්නෙත් නෑ. රටට හෙළිදරව් කරන්නෙත් නෑ. මේක නිලධාරීන්ගේ හොර මැර වංචා වළක්වන්න හොඳ ක්‍රමයක් කියලා රටට මවා පාලා සම්පූර්ණ වහලා දාලා තියෙනවා.

    දේශීය ආදායම්බදු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතම අකාර්යක්ෂමතාවයට හේතුව බවට මේ රැමිස් පද්ධතිය පත්වෙලා තියෙනවා කියන එක මේ සභාවට හෙළිදරව් කරනවා විතරක් නෙමෙයි මේ පිළිබඳව වහාම සොයා බලන්නැයි ඉල්ලා සිටිනවා. මේ සඳහා නිවැරදි ක්‍රියාමාර්ග ගත්තෙ නැත්නම් බොහෝම කෙටි කාලයක දී අපට මේ හම්බවෙන ආදායමත් හම්බවෙන්නෙ නැති වෙනවා. මෙය සඟවාගෙන හෙළිදරව් නොකරපු නිලධාරින්ට එරෙහිව යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා.

    ඒ නිසා අද බදු ආදායම රුපියල් බිලියන 2000ක් එකතු කරන විට, රටේ විභවතාව තියෙනවා රුපියල් බිලියන 4000ක බදු අදායමක් එකතු කරන්න. බදු මාෆියාවක් තියෙනවා. මේකට ඇතැම් නිලධාරින් සම්බන්ධවෙලා තියෙන්න පුළුවන්. බදු උපදේශන සේවා සම්බන්ධවෙලා තියෙනවා. බදු ගෙවන්නො සම්බන්ධවෙලා තියෙනවා.

    අපි දන්නවා ලංකාවේ ඉන්න ඉහළම ගණයේ ව්‍යාපාරිකයන්ගේ බදු අභියාචනාවලට, බදු තක්සේරුවලට දෙපාර්තමේන්තු ඇතුළේ ඉඳගෙන අභියාචනා ලියාපු නිලධාරීන් අද ඒ සාමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල ඉඳගෙන සේවය කරනවා. මේක වංචාවක් නෙමෙයි ද ?

    මේ රටේ සමස්ත බදු ආදායමෙන් සියයට 90ක් හම්බුවෙන්නෙ බදු ෆයිල් 150කින් නැතිනම් 200කින්. මේක මොනිටර් කරන්න බැරිද ? මේක මොනිටර් කරන්න පුළුවන්. මම යෝජනා කරනවා මීට කලින් කරපු වගේ බදු ප්‍රතිසන්ධාන ටික කරලා, ආයෝජන මණ්ඩලය හරහා තියෙන කර්මාන්ත අධෛර්යමත් කරලා, ඒ ආයෝජන ටික ගලවගෙන රටින් එළියට යන්න දීලා, කර්මාන්ත ටික නැතිවෙන, බදු ප්‍රතිසංස්කරණවලට යන්නෙ නැතිව, මුලින් අපේ ප්‍රතිපත්ති ටික හදලා, නිවැරදි තාක්ෂණය හඳුන්වලා දීලා කටයුතු කරන්න පූර්ණ බලතල සහිත පාර්ලිමේන්තු කාරක සභාවක් පත්කරන්න කියලා මේ සභාවට යෝජනා කරනවා යැයි කීවේය.

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.