fbpx
තවත්
    මුල් පිටුවspecialබ්‍රිතාන්‍ය හමුදා අපට යටත්වීම​ අමතක කරවූ සුවිශේෂී යුධ ජයග්‍රහණයක සැමරුම

    බ්‍රිතාන්‍ය හමුදා අපට යටත්වීම​ අමතක කරවූ සුවිශේෂී යුධ ජයග්‍රහණයක සැමරුම

    සෑම වසරකම ජූනි මස 24 දිනය ශ්‍රී ලංකාවට සුවිශේෂි දිනයක් වන්නේ 1803 ජූනි මස 24 වන සිකුරාදා දිනයේ පස්වරු තුනට එවකට ‘හිරු නොබසින අධිරාජ්‍යය’ ලෙස විරුදාවලි ලබාසිටි බ්‍රිතාන්‍යයේ හමුදාවන් අප රටේ හමුදාවට සුදු කොඩියක් ඔසවා යටත්වීම ය. මෙම පරාජය දරාගත නොහැකි වූ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් මෙම සිද්ධීන් පිලිබඳව කිසිම තොරතුරක් ඉතිහාස පොත්වලට පවා ඇතුලත් නොකිරීමට කටයුතු කල නිසාම අප මෙන්ම වර්තමාන තරුණ පරම්පරාවට හෝ මේ ගැන තවමත් දැනගන්නට නොලැබ තිබිම පුදුමයක් නොවුනත්, එම වටිනා සිද්ධි මාලාව ඉතිහාසය තුලින් ඉගැන්වීමට තබා සිහිකිරීමටවත් නොකැමති සහ පැකිලෙන පාලකයන් පිරිසක් සිටීම රටේ අවාසනාවකි.

    මෙම සුවිශේෂි ජයග්‍රහණයේ 210 සංවත්සරය සමරා 2013 වසරේදී ජාතික මට්ටමින් යමක් කිරීමට මමත්, තවත් පිරිසකුක් වෙන්වෙන්ව ගත් උත්සාහයන් සියල්ල ව්‍යාර්ථ වී ගියේ එමගින් බ්‍රිතාන්‍යය නොසතුටට පත්වනු ඇතැයි එවකට සිටි පාලනය සිතා සිටීම නිසාවෙනි. ඉන්පසු එවැනි ප්‍රසිද්ධ කටයුත්තක නිරතවීමට මාහට නොසිතුනේ එම අවස්ථාවේ ඇතිවූ බලවත් කළකිරීමයි.

    නමුත්, ඉතා ඉහල සංග්‍රාමික ක්‍රමෝපායන් අනුගමනය කරමින් ලබා තිබෙන මේ සුවිශේෂි ජයග්‍රහණය අමතක වීමට ඉඩනොදී සමාජ ජාලයන් ඔස්සේ මතක්කර දීමට මේ එම වසරේ සිට කටයුතු කළෙමි. මේ වසරේදී ද එම දිනය වන ජූනි මස 24 දිනය එම 1803 වසේදී මෙන්ම සිකුරාදා දිනයකටම යෙදී තිබීමත් සුවිශේෂි වන්නකි.

    මෙම පලකෙරුම එසේ ගත් තීරණයෙන් පසු සිදුකරන 9 වන වතාව වේ. එසේම ලබන වසරේදී මෙම සිද්ධියට වසර 220ක් සපිරෙන නිසා එම අවස්ථාවේදි ප්‍රසිද්ධ සැමරුමක යෙදීමත් උචිත වනු ඇති බව පෙනී යන්නකි.

    මහනුවර නගරය අත්පත් කර ගැනීමට පැමිණි බ්‍රිතාන්‍ය හමුදා සමග මුහුණට මුහුණ දී සටන් කරනු වෙනුවට ඔවුන් ප්‍රයෝගයෙන් ඉදිරියට ඒමට සලස්වා පසුව තමනට අභිරුචි අවස්ථාවකදී පහරදී පරාජය කිරීමේ යුධ සැලැස්ම සකස් කර තිබෙන්නේ පිලිමතලාවේ මහඅධිකාරම් තුමා සහ ඇහැලේපොල දෙවැනි අධිකාරම්තුමා විසිනි. බ්‍රිතාන්‍ය ආක්‍රමණය ඉදිරියේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පලායාම මීට හේතුව විය​. ආක්‍රමණික බ්‍රිතාන්‍ය හමුදාවට කිසිදු පැහැදිලි සතුරු ක්‍රියාවක නිරත නොවී ඔවුන් රැවටූ පිලිමතලාවේ අධිකාරම්තුමා බ්‍රිතන්‍ය හමුදා ප්‍රධානියා සමඟ සාකච්ඡා පැවැත්වීම සඳහා ඇහැලේපොළ අධිකාරම් යෙදවීය​. මේ ක්‍රියාව සිංහල හමුදාවන්වල දුර්වලතාවයක් ලෙස හුවාදැක්වීමට මේ දෙපල සමත්වූ නිසා බ්‍රිතාන්‍ය හමුදාවෙන් කොටසක් ඉවත්කර ගැනීමට පවා ආණ්ඩුකාරවරයා කටයුතු කර තිබේ.

    නමුත්, අප්‍රේල් මස තද වර්ෂා සමයත් සමගින් කුඩා කණ්ඩායම් ලෙසින් පැමිණි සිංහල ගරිල්ලා කණ්ඩායම් අතරමගදී හමුවන සුදු ජාතිකයන් සහ ඔවුඞේ කුලී සෙබලුන් ඝාතනයට ලක්කරමින් පීඩනයක් ඇති කිරීම මේ ජනතා සටනේ මූලික වැඩ කොටස විය​. මෙසේ මානසිකව දුර්වල වී සිටි ආක්‍රමණික හමුදා සෙබලුන් වැසි සමයත් සමගින් අසනීපයන්ටත් ගොදුරුවෙමින් කායිකව ද දුර්වල වී තිබේ. බ්‍රිතාන්‍ය හමුදා පැමිණීමට ප්‍රථමයෙන් නිවෙස්වල වහ​ලවල් ඉවත්කර​, පලතුරු ගස් හැර සියලු ආහාර භෝග විනාශ කර නගරය​, ගඟවට කෝරළය සහ කඩවත්හතර උප්ක්‍රමශීලී ලෙස අත්හැර ගිය ජනතාව 1803 ජූනි මස 23 දින​, වැසිබර හවස් යාමයේදී එක්වරම යළි තම නිවෙස් කරා පැමිණෙන අයුරු දුටු බ්‍රිතාන්‍ය හමුදාවේ මහනුවර අණදෙන නිලධාරී මේජර් ඩේවි (Major Davy) තැතිගත් අතර ඔහු තම කාර්‍ය සටහන්වල ලියා තිබෙන්නේ “යක්ෂයාගේ හෝරාව එලඹෙන” (The devils hour is approaching) බවය​.

    ඔහු සිතූ පරිදිම එදින අඳුර වැටීමත් සමගින් ගරිල්ලා ඒකක හෙවත් කුඩා කණ්ඩායම් තම මෙහෙයුම් තීව්‍ර කල අතර රාත්‍රියේදී ප්‍රධාන පාබල හමුදාව බ්‍රිතාන්‍ය හමුදා සමග සටන් බිමට එළැඹී තිබේ. පසුදින​, එනම් ජූනි 24 වන දින මධ්‍යහ්නය වනවිට තවදුරටත් සටන් කල නොහැකි බව තේරුම්ගත් බ්‍රිතාන්‍ය හමුදාවන් එදින ප.ව. 3.00 පමණ මහනුවර නගරයේදී සුදු කොඩි ඔසවා අපේ හමුදාවන්ට යටත් වී තිබේ.

    බ්‍රිතාන්‍ය හමුදා සමූල ඝාතනය වූ ස්ථානයේ පිහිටි ගල් පුවරුව

    යටත්වූ සතුරන්ට ගෞරවාන්විතව සලකා තිබෙන අපේ හමුදා ඔවුන් සතු බඩුබාහිරාදිය රැගෙන ජූනි මස 26 දින උදයේදී කටුගස්තොට පරනගංතොටින් මහවැලි නදියෙන් අනිත් පසට ගොස් ආපසු යාමට අවසර දී තිබේ. නමුත්, ජූනි මස 26 උදේ කාලයේදී එක්වූ බ්‍රිතාන්‍ය හමුදා කණ්ඩායම සිංහල හමුදාවන්ට ප්‍රති-ප්‍රහාරයක් සැලසුම් කළ නමුත්, එවැනි තත්වයක් බලාපොරොත්තුවෙන් සැඟවී සිටි හමුදා ඛණ්ඩයන් අතින් ඔවුන් විනාශ වී බ්‍රිතාන්‍ය හමුදා නායක මේජර් ඩේවි, ඒ අසල තිබූ බෝ ගසක බෙනයක සැඟවී දිවිබේරාගෙන තිබේ. මහනුවර මහ නගර සභාව විසින් 1906 දී මේ බෝගස ‘ඩේවිගේ බෝ ගස’ ලෙසින් සහ ඒ අසල මාර්ගය ඩේවි පාර (Davy Road) (වර්තමානයේදී වැරදීමකින් දේවි පාර ලෙස හඳුන්වන පාර​) සහ මේ බෝගසට නුදුරින් බ්‍රිතාන්‍ය හමුදා සමූල ඝාතනය වූ (massacred) ස්ථානය​ ලෙස දක්වන ගල්-පුවරුවක් සවි කිරීමටද කටයුතු කර තිබේ.

    මෙම සටන්වල අවසන් සටන සිදුවූ තැන කුඩා කඳු ගැටයක් මත තිබූ බෝගස තවමත් පවතින අතර මීට වසර කිහිපයකට පෙර ලබාගත් ඡායාරූපයක් මේ සමඟ දක්වා තිබේ.

    ඩේවිගේ බෝ ගස

    මේ වටිනා සමරු වෘක්ෂය පරිසර අමාත්‍යාංශය විසින් පළකල සමරු වෘක්ෂ ග්‍රන්ථයේ දක්වා තිබේ.
    මේ ජනතා සටන නිසාවූ ආසන්නම ප්‍රතිඵලය නම්, ආක්‍රමණයෙන් නොව, ප්‍රයෝගයෙන් අප රට යටත් කලයුතු බව බ්‍රිතාන්‍යයන් තීරණය කිරීම විය​. එමෙන්ම​, සාර්ථකව යුධ ජයග්‍රහණය කල සියලු සෙන්පතියන්ට අත්වූ සෝචනීය ඉරණම පිලිමතලාවේ මහඅධිකාරම් තුමාට සහ ඇහැලේපොල දෙවැනි අධිකාරම් තුමාට හිමි විය​.

    1803 පෙබරවාරි මාසයේදී මහනුවර අල්ලා ගැනීමට පැමිණි බ්‍රිතාන්‍ය හමුදාවන්ට මහනුවර නගරය​, කඩවත්සතර සහ ගඟවට කෝරලය අත්පත් කරගැනීමට උපක්‍රමශීලී ලෙස ඉඩ දී, ඔවුන් පලවා හැරීමේ ජනතා සංග්‍රාමය අපේ හමුදාවන් විසින් දිනාගෙන බ්‍රිතාන්‍ය හමුදා සුදුකොඩි ඔසවා යටත් වූ බව බොහෝ දෙනකු නොදන්නේ එම පරාජය අපගේ ඉතිහාසය ඉගෙනගන්නා පාසල් පොත්වලට ඇතුලත් නොකර සිටීමට බ්‍රිතාන්‍ය පාලකයන් ඉතා සූක්ෂම ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

    එනමුත්, සමාජ මාධ්‍යයන් සහ ඊට ප්‍රවේශය හිමි අප අවම වශයෙන් හෝ එම මාධ්‍යයන් උපයෝගී කරගෙන මෙම වටිනා සංවත්සරය සමාජගත කල හැකි වේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය ජගත් ගුණවර්ධන
    ආචාර්ය ජගත් ගුණවර්ධන
    පාරිසරික නීතිඥයෙකු හා ක්‍රියාකාරිකයෙකු වන ජගත් ගුණවර්ධන මහතා දශක තුනක් පුරාවට ශ්‍රී ලංකාවේ වනජීවී, ශාක, සත්ත්ව විශේෂ සහ පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා තම ජීවිතය කැප කර ඇත.

    ඔබේ අදහස් දක්වන්න.