fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිහළයන් අවදි කළ සිරි දම්පල් ගුණ සැමරේ

    සිහළයන් අවදි කළ සිරි දම්පල් ගුණ සැමරේ

    අනගාරික ධර්මපාලතුමාගේ 158 වන ජන්ම දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) කොළඹ මහා බෝධි විහාරයේදී පැවැත්විණි.

    මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, “මහා බෝධිය ගොඩනගලා ශත වර්ශ එකහමාරක් පමණ වනවා. අනගාරික ධර්මපාලතුමා ජාතියේ මහා සම්පතක් මෙරට උපන් කිසිවෙකුට අනගාරික ධර්මපාලතුමා අමතක කළ නොහැකියි. සකල ලෝවාසීන් වෙනුවෙන් බුදුන් වදාළ ධර්මය ශතවර්ශ ගණනාවක, වර්ශ 2600කට පවතින්නට පුලුවන් ධර්මතාවක් බවට පත්වී තිබෙනවා. ඒ වෙනුවෙන් දේශ දේශාන්තර හරහාද ලුම්බිනියේ සිට භාරතය හරහා ශ්‍රී ලංකාවටද සම්බුද්ධ දේශනයට සහ සම්බුද්ධ ධර්මයේ ආරක්ෂාවට මග පෙන්වීම කළ දැවැන්තම මග පෙන්වන්නා අනගාරික ධර්මපාලතුමායි. අපි අද වසර 158ක උපන්දිනය සමරන්නේ ලෝක සත්වයාට ධර්ම අවබෝධය ලබා දීමට ගමන් කළ සුවිශේෂ ධර්ම ප්‍රචාරක පිතෘවරයා හැටියටයි. ඒ අවස්ථාවන්ට දිගටම දායකත්වය දෙන්න මහා බෝධි සමාගමට හැකි වුණා. බානගල උපතිස්ස මහානායක ස්වාමීන් වහන්සේ මෙරට වැඩසිටියත් ඉන්දියාවේ වැඩ සිටියත් ජපානයේ වැඩ සිටියත් ඒ මඟපෙන්වීම ඉටු කරන්න පුලුවන් වුණ නිසයි අඛණ්ඩව මේ දක්වා පැවැත් වෙන්නේ.

    නිදහස සම්බන්ධව කථා කරන විට, එවකට අපේ පන්සලකටවත් රැස්වී ආගමින් තොර දෙයක් කථා කිරීමට තහනමක් පැවතුනා, එකල පැවති ඒ තහනමට එරෙහිව අභිමානවත්ව සහ එඩිතරව නැගී සිටි අනගාරික ධර්මපාලතුමා ඊට එරෙහිව තර්ක විතර්ක ඉදිරිපත් කිරීම නිසා එම තහනම පසුකාලීනව ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය රජය කටයුතු කළා. ඒ නිදහස දිනාගෙන අපේ රටට එන පෙබරවාරි 04 වනදාට 75වසරක් සපිරෙනවා. අපේ නිදහස් සටනේ වීරවරයන් අතර සුවිශේෂ වීරවරයෙක් ලෙස අපි අනගාරික ධර්මපාලතුමා පිළිගන්නවා. දුෂ්කරතා මධ්‍යයේ රටක ජනතාවක් නැගී සිටින්නේ කෙසේද උට්ඨාන වීර්යයෙන් තම වගකීම් ඉටු කරන්න රට වැසියන් අවදි කළ හැක්කේ කෙසේද අපට හිමි ගමන් මගේ අපේ රටේ ඇති සම්පතට අපිට දායක විය හැකි ප්‍රමාණයන් කුමක්ද කියා අනගාරික ධර්මපාලතුමා ශතවර්ෂයකට පමණ පෙර ප්‍රකාශයක් කළා. වැඩෙන වැඩෙන පරම්පරාව ඒ බව සිහිපත් කළ යුතුයි.

    ඒවගේම අද ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මැතිතුමාගේ උපන්දිනය යෙදී තිබෙනවා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මම එතුමාටත් සුභපැතුම් එක්කරන්නට මම මෙය අවස්ථාවක් කරගන්නවා” යැයිද අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

    මේ අතර ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 158 වන ගුණ සැමරුම් උත්සවයක් සියම් මහ නිකායේ මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරුවේ සිදුකෙරිණි.

    ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ ස්ථාපිත එතුමන්ගේ පිළිරුව අභියසදී මෙම ගුණ සැමරුම් උත්සවය පැවැත්වූ අතර දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුලු සම්භාවනීයන් විසින් පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව උත්සවය ආරම්භ විය.

    සෙංකඩගල එක්සත් බෞද්ධ බල මණ්ඩලය විසින් මෙම ගුණ සැමරුම් උත්සවය සංවිධාන කොට තිබිණි.

    වත්මන් තරුණ පරපුරට පමණක් නොව පාසල් දරු දැරියන්ට පවා අතීත මුතුන් මිත්තන් සහ මෙවැනි උදාර ක්‍රියා කළ පිරිස් සම්බන්ධ පුළුල් දැනුමක් ලබා දිය යුතු බව අනුශාසනා කථාව පැවැත්වූ අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් පැවසූහ.

    බුද්ධගයාව, ලුම්බිණිය, කුසිනාරා ඇතුලු බුදුන් වහන්සේගේ පහස ලැබූ සිද්ධස්ථාන රැක ගැනීම සඳහා විර ක්‍රියා කළ අනගාරික ධර්මපාලතුමන් කිසිසේත්ම අමතක නොකළ යුතු යැයි ද අනුනායක හිමි සඳහන් කළහ.

    රට, ජාතිය, ආගම පරිහානියට පත්වූ අවස්ථාවලදී සිංහළ ජාතිය අවදි කිරීම සඳහා වීරවරයන් විවිධ අවස්ථාවලදී පෙරමුණ ගන්නා බවත් අතීතයේදී වර්තමානයේදී මෙන්ම අනාගතයේදී ද එවන් වීරවරයන් රටට පහළ වීම කාලෝචිත යැයි ද අනුනායක හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

    අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් ඇතුලු මහා සංඝරත්නය ද මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක, එක්සත් බෞද්ධ බල මණ්ඩලයේ සභාපති එස්.එම්.යූ.ඒ.අලහකෝන්, එහි ලේකම් ඒ.ඒ.මුණසිංහ යන මහත්වරු ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.