fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"ලබන දෙසැම්බර් තෙක් වත් මේ අමාරුකම් දරාගන්න වේවි" - මහබැංකු අධිපති

    “ලබන දෙසැම්බර් තෙක් වත් මේ අමාරුකම් දරාගන්න වේවි” – මහබැංකු අධිපති

    රටේ පවතින අර්බුදය විසඳීම මාසයෙන් දෙකෙන් කළ නොහැකි දෙයක් බවත්, අඩුම මේ වසරේ දෙසැම්බර් මාසය දක්වා වත් මෙම අපහසුතාවන් දරාගැනීමට සිදුවන බව තමා විශ්වාස කරන බවත් මහබැංකු අධිපති (ආචාර්ය) නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    එසේම මෙම අර්බුදය මගහරවා ගැනීමට රාජ්‍ය ආදායම 14-15% ක මට්ටමකට වත් වැඩි කළ යුතු බව ද ඔහු සඳහන් කළේ “ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි දැක්ම” යන මැයෙන් ඊයේ (31) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සංවාදමය කථිකාවට සහභාගී වෙමිනි.

    ආර්ථික අර්බුදයකදී ප්‍රථමයෙන්ම ආරක්ෂාකරගත යුතුවන්නේ අඩුආදායම්ලාභීන් බවත් එම නිසා ඔවුන් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණ ජාල සඳහා මුදල් වෙන් කළ යුතු බවත් හෙතෙම පැවසීය.

    අඩු ආදායම්ලාභීන්ට ඇතිවන ආර්ථික අපහසුතා වැඩි වුවහොත් දුප්පත් මිනිසුන් පාරට බැසීම සිදුවිය හැකි බවත් ඒ නිසා කලබලකාරී තත්ත්වයන් රට තුළ ඇති විය හැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේ ය. එබැවින් වැඩි ආදායම් ලබන සහ අඩු ආදායම් ලබන දෙපාර්ශ්වය අතරම ඇතිවන ආර්ථික අපහසුතාව බෙදී යෑමට සැලැස්වීම මගින් අඩු ආදායම් ලබන පාර්ශ්ව වල අසහනය පාලනය කරමින් ආර්ථිකය ස්ථාවර කළ යුතු බව හෙතෙම වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

    එසේම ණය ලබාගැනීම පාලනය කොට රාජ්‍ය ආදායම වැඩිකරගැනීමේ අවශ්‍යතාවද ඒ මහතා පෙන්වා දුන්නේ ය. මෙහිදී වර්තමානයේ ඇති වී තිබෙන උද්ධමනය පාලනය කොට අපනයන ආදායම වැඩිකර ගැනීම සිදු කළ යුතු බව ද පැවසූ ඒ මහතා රාජ්‍ය ආදායම සහ රාජ්‍ය වියදම කළමනාකරණය කර ගැනීම වැදගත් බව අවධාරණය කළේය.

    මෙහිදී ආනයනය සීමාකිරීම මගින් පසුගිය වසරේ බිලියන 2 පමණ වූ වියදම මෙම වසරේ 1.3කට අඩු කරගැනීමට හැකි වූ බව පෙන්වා දුන් වීරසිංහ මහතා ඒ මගින් බෙහෙත්, ඛණිජ තෙල් සහ ගෑස් වැනි අත්‍යාවශ්‍ය දේ මිලදී ගැනීමට හැකි වූ බව පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම වර්තමාන රාජ්‍ය ආදායම බිලියන 1.2 පමණ වන බවත් තවදුරටත් අත්‍යාවශ්‍ය නොවන දෑ ආනයනය සීමාකිරීම මගින් රාජ්‍ය වියදම පාලනය කිරීමට හැකි නම් එය රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් වැදගත් වන බවත් හෙතෙම පැහැදිලි කළේය.

    පාර්ලිමේන්තු විවාදයන්හිදී, මූල්‍යමය කාරණා සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ ක්‍රියාකාරි සහභාගිත්වය තහවුරු කිරීම සහ රටේ වර්තමාන ආර්ථික තත්ත්වය සහ ඉදිරි ආර්ථික මඟ පිළිබඳ ඵලදායී කථිකාවක් ඇති කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කර තිබිණි.

    මෙම සංවාදමය කථිකාවට පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමතිවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් රැසක් සහභාගී වූහ.

    එමෙන්ම, පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂානි රෝහණදීර ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    1 Comment

    1. පොත් බලාගෙන කරිය උයන්නපුළුවන්ද?
      ජනාධිපති ඇතුලු 225 සහ රාජ්‍ය සේවකයන් සියලු දෙනාම අල්ලස්, හොරකම් සහ දූෂණය නොකර ගන්න පඩියෙන් ජීවත් වෙන්න පුරුදු වෙන්න.
      ආචාර්ය නන්දලාල් මහතා මහ බැංකුව අධිපති ඔයා උනත් පොඩි තෑගි බෝග එහෙමත් ගන්න එපා.
      පුලවන් තරම් රාජ්‍ය ආයතන සියලුම ජනාධිපති තුමාගේ බලය පාවිච්චි කරලා ත්‍රිවිධ හමුදා, පොලිසිය සහ සිවිල් ආරක්ෂක භටයින් යොදවලා හොරකම නතර කරන්න.
      COPE සහ COPA එක්ක සාකච්ඡා කරමින් 2022 වසර දක්වා ගිණුම් පිලිවෙල කරන්න හොරුන් ඉන්නවා නම් නඩු දාන්න අලාභ හානි ගණනය කිරීමෙන් පෞද්ගලික දේපළ සහ ගණුම් ශේෂය රාජ්‍ය කන්දක කරන්න. හොරකම් කරන චුට්ටක් වත් ඉඩනොදී රට ගොඩ ගන්න.
      සියලු දෙනාම අනුන්ගෙන් අත් දික්කරන්න එපා.

    ඔබේ අදහස් දක්වන්න.