fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බලපිටිය රෝහල ඉදිරිපිටත් වෙඩි පත්තුවේ - මත්කුඩු ජාවාරම්කරුවෙක් මරුට

    බලපිටිය රෝහල ඉදිරිපිටත් වෙඩි පත්තුවේ – මත්කුඩු ජාවාරම්කරුවෙක් මරුට

    යතුරු පැදියක් පසු පසින් හඹා ආ ත්‍රීරෝද රථයක සිටි වෙඩික්කරුවෙකු බලපිටිය රෝහල අසලදී ටී 56 අවියකින් කළ වෙඩි තැබීමකින් යතුරු පැදිකරු මියගොස් ඇත.

    අද රාත්‍රීයේ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකි. එම පුද්ගලයා අවුරුදු 28ක් වයසැති වතුගෙදර පදිංචි කරුවෙකි.

    මෙම වෙඩි ප්‍රහාර එල්ලවී ඇත්තේ ඉකුත් ජුනි 27 වෙනිදා අම්බලන්ගොඩ මළ ගෙදරකට සහ අගෝස්තු 21 වෙනිදා දෙල්දූවේ හෝටලයකට එල්ලවූ වෙඩි ප්‍රහාරවලට ප්‍රතිප්‍රහරයක් ලෙස බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. එම වෙඩි ප්‍රහාර දෙකෙන් සිව් දෙනෙක් මරුමුවට පත්විය.

    මෙම වෙඩි තැබීම් සිදුවන්නේ අම්බලන්ගොඩ සොයිසා පවුල් දෙකක් අතර හටගෙන ඇති ගැටුමක ප්‍රතිඵලයක් ලෙස බව පොලීසිය කියයි.

    මෙම ගැටුමේ මුල 2020 වසරේ අගෝස්තු 22 වෙනිදා අම්බලන්ගොඩ පැරට් හංදියේදී අජිත් සොයිසා නොහොත් බූරු අජිත් නැමැත්තා වෙඩි තබා මරා දැමීමය. එම ඝාතනය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලබන්නේ මත්කුඩු ජාවාරම්වලට සම්බන්ධව සිටි වසන්ත සොයිසා නැමැති අයෙකි.

    කාලයක් බන්ධනාගාරගතව සිටි වසන්ත සොයිසා මෑතකදී ඇපමත නිදහස් වීමෙන් පසුව ඉකුත් ජුනි 26 වෙනිදා ඔහුව අම්බලන්ගොඩ ඌරවත්තේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබීය. එම ඝාතනය සිදුකරනුයේ අජිත් සොයිසාගේ සහෝදරයා වන සුජිත් සොයිසා සහ අජිත් සොයිසාගේ පුතා වන ආලෝක සොයිසා යන දෙදෙනා එක්වය.

    එම ඝාතනයට ප්‍රතිප්‍රහාරයක් ලෙස ජුනි 27 වෙනිදා අම්බලන්ගොඩ මළ ගෙදරක රැදී සිටි සුජිත් සොයිසාගේ සහෝදරයෙක් වන විජිත් සොයිසාට වෙඩි ප්‍රහාරයක් එල්ලකර ඝාතනය කරනු ලැබීය. එහිදී මළ ගෙදර සිටි තවත් අයෙක් වෙඩි වැදී ඝාතනය විය.

    වසන්ත සොයිසාගේ ඝාතනය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලීසිය අගොස්තු 19 වෙනිදා ගිනි අවියද සමඟ සුජිත් සොයිසාත් අලෝක සොයිසාත් අත්අඩංගුවට ගත්තේය. ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඉකුත් 21 වෙනිදා දෙල්දූවේ හෝටලයකදී සුජිත් සොයිසාගේ බාප්පාගේ පුතා වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය විය. එහිදීද මෙම පාර්ශවයන්ට සම්බන්ධයක් නොමැති තරුණයෙක්ද වෙඩි වැදී මරණයට පත්විය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.