fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගුවන්යානා ඉන්ධන ආනයනයත් පෞද්ගලික අංශයට!

    ගුවන්යානා ඉන්ධන ආනයනයත් පෞද්ගලික අංශයට!

    ගුවන්යානා ඉන්ධන ලබා ගැනීමට ඇති අපහසුතාවය මත ශ්‍රී ලංකාවට පැමිණෙන හා ශ්‍රී ලංකාව‍ෙන් පිටවන ගුවන් යානා ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී ඇති බව හෙළිවී තිබේ.

    මෙම තත්ත්වය වහා වෙනස් කොට ගුවන් සේවා ක්ෂේත්‍රයේ ස්ථාවර කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ සාකච්ඡාවක් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

    මෙම විශේෂ සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ සියලුම ගුවන්සේවා සමාගම් නියෝජනය කරමින් නියෝජිතයින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ බලධාරීන් හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නියෝජිතයින් ද සහභාගි වූහ.

    මෙහිදී කිසිදු බාධාවකින් තොරව ශ්‍රී ලංකාවට පැමිණෙන හා පිටව යන ගුවන් යානා සඳහා කිසිදු බාධාවකින් තොරව ගුවන්යානා ඉන්ධන ලබා දීමට වැඩපිළිවෙළක අවශ්‍යතාවය පිළිබඳව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී.

    ඒ අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙම අවශ්‍යතාවය සපුරාලීමට නොහැකි නම්, ගුවන්යානා ඉන්ධන ශ්‍රී ලංකාවට ගෙන ඒමට පෞද්ගලික අංශයේ පාර්ශවයකට ඉඩ සැලසිය යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරන ලදී.

    මෙම අවස්ථාවේදී ගුවන් සේවා ක්ෂේත්රයේ නියෝජනය කරන සමාගම් කීපයක්ම ඛනිජ තෙල් සංස්ථාව හා ඛනිජ තෙල් අමාත්‍යංශය අවසර හා පහසුකම් ලබා දෙන්නේ නම් ගුවන්යානා ඉන්ධන ඔවුන්ගේ වියදමින් ශ්‍රී ලංකාවට ගෙන ඒමට බෙදා හැරීමටත් සූදානම් බව ප්‍රකාශ කරන ලදී.

    මෙම අවස්ථාවේදී ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිතයින් පවසා සිටියේ දැනටමත් බොරතෙල් නැව් දෙකක් ශ්‍රි ලංකාවට ළඟා වී ඇති බවත් ඒ පිරිපහදු කිරීමේ කටයුතු සපුගස්කන්ද පිරිපහදුව දිනකට මෙට්‍රික් ටොන් හයසීයක් පවරා ගුවන්යානා ඉන්ධන ලබා දිය හැකි බවත් මෙම මස විසි වනදා සිට අඛණ්ඩව ගුවන්යානා ඉන්ධන සැපයීමට හැකි බවත්ය.

    එක් එක් ගුවන් සේවාවන් සඳහා අවශ්‍ය දෛනික ඉන්ධන ප්‍රමාණයන්,එය ලබාදීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගන්නා පියවර අධ්‍යයනය කරමින් මේ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියට උපදෙස් දෙන ලදී.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිය ඉන්ධන අවශ්‍යතාවන් සපුරා ගැනීම සඳහා ඉන්දියාවේ ගුවන් තොටුපළවල් හරහා සිය ගමනාන්තයන් සකස් කර ඇති බවත්, ඉන්ධන ගෙන ඒම නිසා ඔවුන්ට සම්පූර්ණ මගී ප්‍රමාණය හා භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අපහසුතාවයන් ඇති බවද පෙන්වා දෙන ලදී.

    විශේෂයෙන් සංචාරක සමය ආරම්භ වන ඉදිරි මාසවලදී ගුවන් ගමන් වැඩි ප්‍රමාණයක් කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන බව පෙන්වා දුන් ගුවන් සේවා නියෝජිතයින් අවශ්‍ය ගුවන්යානා ඉන්ධන ප්‍රමාණයන් නොකඩවා ලබා දීම අත්‍යවශ්‍ය බව පෙන්වා දෙන ලදී.

    ගුවන්යානා ඉන්ධන ගෙන ඒම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ලබා දී ඇති ඒකාධිකාරී බලය ඉවත් කිරීම කාලීන අවශ්‍යතාවයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සඳහා දැනටමත් ඛනිජ තෙල් පනත සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තුව හමුවේ පනතක් ඉදිරිපත් කර ඇති බවත් එය සම්මත කර ගැනීම ඉක්මනින් කළ යුතු බවත් පෙන්වා දෙන ලදී.

    තවද ගුවන්යානා ඉන්ධන වැඩි ප්‍රමාණයක් ගබඩා කිරීම සඳහා පහසුකම් සලසා දීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කරන බව ද මේ පිළිබඳව පරීක්ෂාකර බලා අනාගත අවශ්‍යතාවයන් සැලකිල්ලට ගනිමින් ගුවන් යානා ඉන්ධන ගබඩා කිරීම සඳහා ගුවන් තොටුපොළේ මෙන්ම ඉන් පිටතත් අවශ්‍ය ඉන්ධන ගබඩා කිරීම සඳහා පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් දෙන ලදී.

    ජුඩ් සමන්ත

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.