fbpx
තවත්
    මුල් පිටුවspecialඅමරබන්දු අත්අඩංගුවට

    අමරබන්දු අත්අඩංගුවට

    “අටවන” ජනාධිපතිතුමාගේ පත්වීමෙන් ඉක්බිති උන්නාන්සෙගෙ ඇමති මණ්ඩල පත් කිරීම් ප්‍රවෘත්ති වල ඇහෙන වාරයක් පාසා ඉන් අමරබන්දුගේ යටි බඩම මහ අමුතු තාලෙකට අඹරවාලන්නේය. “මේක හරියට ජෝකරයත් එක්කම අනන බූරු කුට්ටම වාගේය කියල” තමටම කියාගත් හෙතෙම රේඩියෝව වසා දැම්මේ නැවතත් ප්‍රවෘත්ති නාසන බවට තමන්හටම පොරොන්දුවක් දී ගනිමිනි. අරගලයටද වෙච්චි නින්ව්වක් නැතුවා සේය. කොල්ලො කෙල්ලො අස්සෙ දුව පනිමින් සටන් පාඨ කියමින් ගෙවපු ඒ කෙටි කාලය ඔහුට හදිසියේම මෙන් ඔහු හට සිහිපත් විය. ඒ නොස්ටැල්ජියානු මතකයන් ඔහුගේ සිත සොවින් බරය කරවීය. ඉන් ඔහුව බලාගත් වනම කල්පනා කරන රෝම සෙල් හිදි පිළිමයක් බවට පත් කරවන්නට සමත් වීය. නමුත් ඔහුට වැඩි වේලාවක් ගැඹුරු කල්පනාවේ නියැලෙන්නට ඉඩ ලැබුණේ නැත. ඒ හදිසියේම නිවසේ දොරට කවුදෝ තඩි බාන්නට වූයෙනි.

    “ගෙදර කවුද… අපි රටේ නීතිය කරවන රාලහාමිලා… ගෙදර කවුද….” ඒ රළු පරළු හඩින් අමරබන්දු උඩ ගොස් බිම වැටුනේය. ඔහුගේ හද ගැහෙන්නට විය. ඔහුට එක වරම සිංහලද අමතක විය “කමිං කලර් ඊස් නෝ ගුඩ් කියා සිතුණි”. නමුත් ඔහු වෙන දෙයක් වෙච්චාවෙ කියා සිතාගෙන වෙවුලන දෑතින් දොර පළුවක් විවර කළේය.

    “ඇයි රාළහාමි” හෙතෙම වෙවුලමින් විමසුවේය.

    “තමුන්ද අමරබන්දු කියන්නේ” රාළහාමි තවත් තදින් විමසුවේය.
    “එහෙමයි රාලහාමි” අමරබන්දු පිළිතුරු බැන්දේය

    “ආ එහෙනං මේ ඉන්නෙ අපිට ඕන මිනිහා.. යමං අපිත් එක්ක” තවත් රාළහාමියෙක් ඉදිරියට පැන අමරබන්දුගේ අතින් අල්ලා ගත්තේය.

    ‘අනේ ඇයි රාළහාමි මේ.. මං මොන වරදක් කළාටදැ” හෙතෙම ඇසුවේ තුෂ්ණිභූතවය.

    “දැන් තෝ දන්නේම නැද්ද.. මොකක්ද කරල තියෙන වරද කියලා හ්ම්” තවත් රාළහාමියෙක් ගුගුලේය.

    “මං දන්නේ නැහැ ..” ඔහු මිමිණුවේ වෙනත් කළ නොහැකිව අසරනවය.

    “තමුන් අරගලේ කාලෙ කොළොම්තොටේ තියෙන රජගෙදරට ගියානේද?” කාකි ඇදුමේ තරු රැසක් පැළද හුන් රාළහාමියා අමරබන්දුගෙන් විමසුවේය.
    “එහෙමයි..” අමරබන්දු නොපැකිල පිළිතුරු දුන්නේය.

    “ගියා විතරද” තරු රාළහාමියා නැවත විමසීය.

    “නැතුව අහවල් එක කොරන්නද රාළහාමි” අමරබන්දු එවර විමසුවේ කේන්තියෙනි.

    “අහවල් එක.. තෝ මගෙං අහගන්න එපා.. කියපිය තෝ රජගෙදර වැසිකිලියට මූත්‍රා කළා නේද .. කියපිය” තරු පිරි රාළහාමියා ගුගුලේය.

    මදක් කල්පනාවේ වැටුණු අමරබන්දු රාළහාමිගේ පැනයට පිළිතුරු බැන්දේය.

    “ඔව් මූත්‍රා කොරන්න ඇති, රජ ගෙදර උනත් වැසිකිලියක් නම් ඒක තියෙන්නෙ මූත්‍රා කොරන්න මිසක් ඒක උඩ ඉදගෙන පංච දාන්න නෙමෙයිනේ රාළහාමි” ඔහු එවර වැඩිය නොසිතා කියා දැමුවේය.

    “ආ ඔය එන්නේ.. තමුන් එක්ක තව නම දෙනෙක් අදුනගෙන තියෙනවා ඒ රාජ්‍ය ද්‍රෝහි කුමන්ත්‍රණය කළා කියලා.. දානව මේ මිනිහට මාංචු.. රාළහාමි නැවතත් ගුගුලේය.

    තරු පිරි රාළහාමියගෙ විධානයෙන් අමරබන්දුගේ දෑතට මාංචු වැටිණ. එසේ විලංගු දමන ලද අමරබන්දුව ජීප් රථය වෙත රාළහාමිලා විසින් කුදලාගෙන ගියේ මහත් ජයග්‍රාහී ලීලාවෙනි. එහෙත් දංගෙඩියට ගෙනයන සොරාටත් වදක බෙරය දැක ආසා හිතුනා සේ අවසන් මොහොතේ වුව ඔහුට නීතිය කරවන රාළහාමිලාගෙන් ප්‍රශ්නයක් විමසීමට ආසාවක් ඇති විය..

    “එතකොට රාළහාමි මහබැංකුව සුද්ද කරපු, මහා භාණ්ඩාගාරයක් සුද්ද කරපු, අහිංසක මිනිසූන්ට ගෝල්පේස් එකේදි තඩි බාපු හොරු ටික ඔය තවමත් යසට පාර්ලිමේන්තුවෙ ඉන්නෙ මුකුත් නොදන්න ගාණට..” ඔහු ඇසූ ප්‍රශ්නයෙන් නීතිය කරවන ලොකු රාළහාමිගේ දෑස එක්වර අසරණ බවින් පිරුණි. නමුත් ඔහු එම හැගීම ආරූඪ කොටගත් කේන්තියෙන් පිටතට පෙනෙන්නට නොදී වසා ගත්තේය.

    “ඒව අපිට අදාල ප්‍රශ්න නෙවෙයි… අපි දන්නේ නැහැ ඕව.. මේ කරන්නේ ඉහළින් ආපු ඕඩර්ස්” කියූ රාළහාමි අමරබන්දුව ජීප් රථය තුලට තල්ලු කළේය.

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    තිලංග ෆොන්සේකා
    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    ඔබේ අදහස් දක්වන්න.