fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පුරහල අසල අනතුරට විදේශ සමාගමෙන් වන්දියක්

    පුරහල අසල අනතුරට විදේශ සමාගමෙන් වන්දියක්

    කොළඹ පුරහල ප්‍රදේශයේ ඉදිකෙරමින් පවතින ගොඩනැගිල්ලක ඉහළ මහලක තිබුණු ගැල්වනයිස් බටයක් අද උදෑසන අඩි 60 ක උසක සිට මාර්ගයේ ඉන්ධන පෝලිමක නතර කර තිබුණු මෝටර් රථයක් මතට ඇද වැටී තිබේ.

    එම ගොඩනැගිල්ලෙහි ඉහළ මහලේ සේවකයෙකුගේ අත්වැරදීමකින් මෙය බිමට වැටී ඇතැයි පොලිස් විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

    එම ගැල්වනයිස් බටය වැටී ඇත්තේ දිග අතටය. එහිදී ඉහළ සිට පහළට ආ වේගයට මෝටර් රථයේ ඉදිරිප වීදුරුව සිදුරුකරගෙන එය සුක්කානම අයිනෙන් රියදුරුගේ කකුල් දෙක මැදින් වැටී නැවතී ඇත.

    රියදුරුගේ වාසනාවට එසේ ඔහුගේ පාද දෙක මැදින් එය වැටී ඇති බවත් එසේ නොවන්නට ජීවිත හානියක් සිදුවීමට ඉඩ තිබුණු බව එම අනතුර සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කුරුදුවත්ත පොලීසිය සහන් කළේය.

    මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේදී බිම් මහලේ සිට ඉහළට ගොඩනැගිල්ල වටා දැල් ආවරණයක් යොදා පිළිගත් ආරක්ෂක ක්‍රමවේදයන් සියල්ලක්ම අනුගමනයකර ඇති බව පොලීසිය කියයි.

    ගොඩනැගිල්ලෙහි  තවදුරටත් ඉහළට ඉදිකිරීම් සිදුවන බැවින් දැල් ආවරණ ඇදීමට අවශ්‍ය සැකිල්ල සඳහා යොදා ගන්නා ගැල්වනයිස් බටයක් මෙසේ බිමට වැටී ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වෙන බවත් මෙම ගොඩනැගිල්ල ඉදිකරනු ලබන්නේ විදේශිය සමාගමක් විසින් බවත් පොලීසිය කියයි.

    එම සමාගම විසින් මෝටර් රථයට සිදුවූ හානියට වන්දියක් ගෙවීමට පොරාන්දු වී තිබේ.

    ඒ අනුව මෝටර් රථයේ හිමිකරු පොලිස් විමර්ශනයක් අනවශ්‍ය බව සඳහන් කරමින් දෙපාර්ශවය අතර එකඟතාවයකට පත්වූ බව පොලීසිය සඳහන් කළේය.

     

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.