fbpx
තවත්
    මුල් පිටුවඅමරබන්දුගේ වාඩියරජ මැදුරේ සය කන්මන්ත්‍රණය

    රජ මැදුරේ සය කන්මන්ත්‍රණය

    අමරබන්දුට වගේ වගක් නැත, ගෙදරද අමතකය, වෙනදාට කහට කෝප්පයක් බී කයියක් දාන්න යන කෝපි කඩේද අමතකය. ඔහු පසු ගිය මාස දෙක තුන පුරාවට ගැවසුනේ ගෝල් ෆේස් අරගල ගමේය. ඇවිද යන විට තමන්ගේ දණහිස් පොලකටු දෙක තමන්ගේම අඩලෙට ඇහෙන කන්බෙර දෙක මත හඩා වැටෙන තරම් වියපත් වුව අරගල ගමේ කොල්ලන් කෙල්ලන්ගේ සටන් පාඨ කියා කෑ ගසන හඩින් ඔහුගේ වියපත් කය නැවත නැවතත් පණ ගසා එන්නේය. කොටින්ම ජූලි නව වැනිදා ජනයා ජනාධිපති මන්දිරයට කඩා පනිද්දී කොල්ලන් විසින් අමරබන්දුව රැගෙන ගියේ කරේ තබා ගනිමින්ය. ඒ යම් හෙයකින් උන්දැ මිනිස් කකුලකට පෑගුනහොත් එතැනම පරලොව යෑමට තිබූ ඉඩ කඩ හේතුවෙනි.

    මන්දිරයට ඇතුලු වී ස්විමින්ග් පූල් එකේ පොඩි ස්විම් එකක් දා හිසකේ පිස දමමින් එහි පහළ මහළයට ගෑටුවේ කොල්ලන්ගෙන් බේරී නිදහසේ බුලත් විටක් කටේ ඔබා ගැනීමේ රිසියෙනි. ඔහුට බිම් මහලට ඇතුලු වී ගමන් කරන්නට ලැබුණේ කෙටි දුරකි ඒ සිය කන වැකුණු හදිසියේ තමන්ගේ දෙකන් වැකුණු රහස සතර කන් මන්ත්‍රණයක හඩක් ඇසුණු හෙයිනි. අමරබන්ද්ගේ දෙසවනත් සමගින් එය දැන් සය කන්මන්ත්‍රණයකි.

    “තාත්ති..”
    “හ්ම්….”
    “අපි දැන් මොකද කරන්නේ අනේ” ඇය වෙවුලන ස්වරයෙන් ඇසුවාය. නමුත් තවමත් ඔහු නිහඩය. ඉන් ඇය කෝප වූවා සේය.
    “මොකක්ද තාත්ති.. ඔයා මොනව හරි කරන්නකෝ.. දැන් අපි කොහොමද මෙතැනින් එළියට යන්නේ.. කියන්නකෝ” එවර ඇය ඇසුවේ නිශ්ශබ්දතාවය නොබිදෙන තරමේ ඝෝෂාවකිනි.

    “මං කියල මොනව කරන්නද අම්මි.. කටුනායකින් හරවල එව්වා.. මත්තලින් බැහැ කිව්වා.. මේවෑ උන් මාව පඩ පයිසෙකට මාව මායිං කළේ නැහැ නෙ, අඩුමතරමේ මම යුද්ධෙ ඉවර කළා කියල්වත් මුන්ට මට සලකන්න තිබුණා” ඔහු ඇයට කෙදිරුවේය.

    “අනේ මේ ඉන්න.. ඔයයි මමයි දන්න යුද්ධෙ ඉවර කිරිල්ල. ඒ යුද්ධෙත් හරිඅයට අප්ප නැති දරුව වගේ, බලාගෙන ගියහම හැම එකම යුද්ධෙ ඉවර කරලනෙ” ඇගේ ස්වරය තවමත් ආවේගශීලීය.

    “ඒ කියන්නෙ ඔයා පිළිගන්නේත් නැහැ මම යුද්ධෙ ඉවර කළා කියලා” ඔහුගේ ස්වරයේ තිබුණේ විමතියකි. නමුත් ඇය ඊට පිළිවදන් නොදී නිහඩව සිටියාය.

    “ඔය යුද්ධ මගුලක් නෙවෙයි.. මේ බඩ කඩුත්තුවෙං පැනගන්න මගක් හොයනවා, නැත්තං නොකා නොබී තමයි මැරෙන්න වෙන්නේ” ඇය මද නිහඩතාවයකින් ඉක්බිතිව හඩ අවදි කළාය.

    “මම ඔයාගෙන් අහන්න හිටියෙ හදිසියෙවත් ෆර්ස්ට් ක්ලාස් යන ෆ්ලයිට් එකක් නැති උනොත් ඔයාට අවුලක් නැද්ද?” ඔහු කෙදිරිළි ස්වරයෙන් විමසුවේය.

    “මොන ෆස්ට් ක්ලාස්ද ඕයි මේ වෙලා තියෙන දේවල් වල හැටියට, කුණු ට්‍රැක්ටරයක් හරි ලෑස්ති කර ගන්නවා මේ බඩ කඩුත්තුවෙන් තොලොංචිවෙලා යන්න.” ඇය රහසේම මොර දුන්නාය.

    “එහෙනං කමක් නැහැ අම්මී.. ගුවන් හමුදාවේ මගේ ගෝලයෙක් එයාගෙ පරණ ඇන්ජින් දෙකේ මොකක්ද එකක් ලෑස්තිකරල තියෙනවා අද රෑට මේ මල ඉලවුවෙන් පැන ගන්න.. එහෙනං කොන්ෆර්ම් කරනවා හොදේ” ඔහු යාප්පුවෙන් කීවේය.

    “ඕන එකක්” ඇගේ ස්වරයේ ගැබ්ව තිබූ ආවේගය එලෙසමය.

    “එහෙනං ඔය තියෙන රෙදදක් දෙකක් ඔතා ගන්නවකො අරුං නින්දට ගියහම මෙහෙං පැන ගන්න. එවර ඔහුගේ ස්වරය තරමක් සන්සුන්ය.

    “අම්මෝ ඇති යාන්තං ඇගට ලේ ටිකක් ඉණුව” ඇයගේද ස්වරයේද ගැබ්ව තිබුණේ සතුටකි.

    “එතකොට තාත්ති ඔය ගුවන් හමුදාවේ ප්ලේන් එකෙං අපිට අමෙරිකාවටම යන්න පුළුවං වෙයි නේද” ඇය සතුටින් උඩපනින හඩ අමරබන්දු පිටත සිට වින්දේය.

    “පිස්සුද ඕයි.. මොන අමෙරිකවක්ද?” ඔහු නැවතත් කේන්තියෙන් මිමිණුවේය.

    “ඒ කියන්නේ” ඔහුගේ හඩ හමුවේ විපිළිසර වූ ඇය විමසුවාය.

    “ඒ කියන්නේ බී කියන්නේ නෙවෙයි ඕයි, අද පාන්දර යන්නේ මාලදිවයිනට” ඔහුගේ ස්වරයේ ගැබ්ව තිබුණේ මහත් පරාජිත බවකි.

    “අනේ තාත්ති” ඇයට කියන්න ලැබුණේ එපමණකි.

    “මෙන්න මේ එනව ඕයි යන්න ඔය තියෙන පාංකඩයක් ඔතාගෙන.. මගෙ මේ රැවුල ගිනිඅරං ඉන්න වෙලේ මේයා එනවා සුරුට්ටු පත්තු කරන්න” ඔහු රහසේ ගිගිරුවේය.

    “එතකොට ඉල්ලා අස්වීම” ඒ කඩිමුඩිය අස්සේ ඇය නැවතත් විමසුවාය. නමුත් ඇයට පිළිතුරු දෙනවා වෙනුවට ඔහු සිනහසුනේය.

    “ඇයි තාත්ති හිනා වෙන්නේ..ඒ කියන්නේ ඔයා ඉල්ලා අස වෙන්නේ නැද්ද?” ඇය වික්ෂිප්තව ඇසුවාය.

    “මම ගිහිල්ල එනකල් අගමැතිතුමා වැඩේ අල්ලගෙන යයි” ඔහු නැවතත් රහසේ සිනහසුනේය.

    තිලංග ෆොන්සෙකා.

    තිලංග ෆොන්සේකා

    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    තිලංග ෆොන්සේකා
    තිලංග ෆොන්සෙකාගේ වෘත්තීය දිවිය ඇරඹෙන්නේ මීට දශක දෙකකට ආසන්න කාලයකදී ලක්බිම පුවත් පතේ ජනමාධ්‍යවේදියෙකු වශයෙනි. සිංහල හා ඉංග්‍රීසි ජනමාධ්‍යය තුල නිපුණතාවය ඇති ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍යය ප්‍රතිපත්ති පිළිබදව ගෞරව උපාධිධාරියෙකි. එසේම ඔහුගේ නීති අධ්‍යාපනය සම්පූර්ණවන්නේ නවසීලන්තයේ වයිකැටෝ විශ්වවිද්‍යාලයෙනි. නවසීලන්තයේත් ඔස්ට්‍රේලියාවේත් නීති වෘත්තියේ නියැලෙන ඔහු වත්මන වෙසෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවරය. ජනමාධ්‍යවේදියෙක්, නීතිවේදියෙක්, දේශපාලන විශ්ලේෂකයෙක් මෙන්ම සමාජයීය විද්‍යා පර්යේෂකයෙක් ලෙස ඔහු ලද අත්දැකීම් අනුසාරයෙන් සැකසෙන "අමරබන්දුගේ වාඩිය" කොලම යම් හාස්‍යයක් කැටිකොටගත් සමාජය පිළිබදව දිග හැරෙන්නාවූ සමබර දේශපාලන විමසුමකි.

    ඔබේ අදහස් දක්වන්න.