fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අබලන් බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යමින් සිටි 47ක් අල්ලයි

    අබලන් බෝට්ටුවකින් ඕස්ට්‍රේලියාවට යමින් සිටි 47ක් අල්ලයි

    මීගමුවට ඔබ්බෙන් වූ බටහිර මුහුදු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසියකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනෙකු රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ඊයේ (27) රාත්‍රියේ ගෙන තිබේ.

    ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර නෞකාව මෙම මෙහෙයුමේදී මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නීරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කරන කල බව නාවික හමුදාව සඳහන් කරයි. එහිදී, එම බහුදින ධීවර යාත්‍රාවේ සිටි නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන ජාවාරමට සම්බන්ධ පුද්ගලයන් පස් දෙනෙකු ද (05) ඇතුළුව වැඩිහිටි පිරිමි පුද්ගලයන් 34 ක්, වැඩිහිටි කාත්තාවන් 06ක් සහ ළමුන් 07 ක් සිය එම බහුදින ධීවර යාත්‍රාව සමඟ නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කළ බවද නාවික හමුදාව සඳහන් කරයි.

    නාවික හමුදාව භාරයට ගත් සැකකරුවන් පිරිස, යාපනය, කිලිනොච්චිය, මන්නාරම, වෙන්නප්පුව, නාත්තන්ඩිය, හලාවත සහ මඩකලපුව යන ප්‍රදේශයන්හී පදිංචිකරුවන් බවට හඳුනා ගන්නා ලද අතර, එම පිරිස ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ වරාය පොලිසිය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

    ඊයේ අළුයම් කාලයේදීද මඩකලපුවට ඔබ්බෙන් මුහුදු තීරයේදීද නාවික හමුදාව විසින් ඕස්ට්‍රේලියාව බලා යාත්‍රාකරමින් සිටි 54 දෙනෙක් රැගත් යාත්‍රාවක්ද අල්ලාගෙන තිබුණි.

    මෙම වසර තුළ මේ දක්වා ඕස්ට්‍රේලියාව බලා නීති විරෝධීව සංක්‍රමණය වීමට උත්සහ දැරූ 499 දෙනෙක් නාවික හමුදාවට සහ පොලීසියට කොටුවී තිබේ.

    මුදල් ඉපයීමේ පරමාර්ථයෙන් ව්‍යාජ තොරතුරු පවසා ජාවාරම්කරුවන් විසින් අනාරක්‍ෂිත යාත්‍රා යොදාගනිමින් සංවිධානය කරනු ලබන මෙවැනි මිනිස් ජාවාරම් වලට හසුවී නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සහ කර තම ජීවිත විශාල අවදානමකට ලක්කර ගැනීමෙන් සහ නීතිය ඉදිරියේ වරදකරුවෙකු වීමෙන් වළකින ලෙස නාවික හමුදාව මහජනතාව වෙත අවධාරණය කරනු ලබයි. එමෙන්ම මෙවැනි අනවසර සංක්‍රමණිකයන් සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් කිසිදු අනුග්‍රහයක් හිමි නොවන අතර, ඔවුන් අත් අඩංගුවට ගෙන වහාම නැවතත් මෙරටට පිටුවහල් කරනු ලබන බැවින්, ඉදිරියේදී නීත්‍යනුකූලව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අවස්ථාවද ඔවුන්ට අහිමි වනු ඇති බවද නාවික හමුදාව කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.