fbpx
තවත්
    මුල් පිටුවවිශේෂාංගබිරිඳ, සැමියා හරි හැටි හඳුනා ගනිමු

    බිරිඳ, සැමියා හරි හැටි හඳුනා ගනිමු

    “ඕනෑම මානව සම්බන්ධයක අත්‍යවශ්‍යම සාධකය නම් සංවාදයයි. නමුත් තව දුරටත් මිනිසුන් සංවාදයක යෙදෙන්නේ නැත, ඔවුන් එකට වාඩි වී කතා කරන්නේ හෝ අනෙකාට සවන් දෙන්නේ නැත. ඔවුන් රඟහලට යයි, සිනමා ශාලාවට යයි, රූපවාහිනී නරඹයි, රේඩියෝවට සවන් දෙයි, පොත් කියවයි. නමුත් ඔවුන් එකිනෙකා සංවාදයේ  යෙදෙන්නේ නැත. අපට මේ ලෝකය වෙනස් කිරීමට අවශ්‍ය නම් නැවතත් ගිනිමැලයක් වටා රණකාමි කතා කියන අතීතයකට යන්නට සිදු වේවි.”

    ශ්‍රේෂ්ඨ බ්‍රසීලියානු කතුවර පවුලෝ කොහියෝ විසින් වසර ගණනාවකට පෙර සිදුකර ඇති මෙම ප්‍රකාශය වර්තමානයටත් වලංගු වන අතර වර්තමානයේ මෙම ප්‍රකාශයහි තීව්‍රතාවය ජංගම දුරකථන හා පරිඝණක මෙන් ම අන්තර්ජාල භාවිතයත් සමග වඩාත් වැඩි දියුණු වූ තත්වයකට පත්වී ඇති බව හඳුනා ගැනීමට පුළුවන. මානව සම්බන්ධතා වල පදනම වන්නේ සන්නිවේදනයයි.

    පුද්ගලයන් හෝ පවුලේ සාමාජිකයින්, සැමියා බිරිඳ, දෙමාපියන් හා දරුවන් අතර ගොඩ නැගෙන සන්නිවේදනය තුළින් යහපත් සබඳතා ඇතිවීම හා ඒවායේ ශක්තිමත් භාවයවැඩි දියුණු කර ගැනීමක් සිදු වේ.

    මෙම යහපත් සබඳතාවයන් ප්‍රීතිමත් හා සාර්ථක ජීවිතයකටමග පාදන අතරඒ තුළින් ප්‍රීතිමත් සමාජයක් ගොඩ නැගීම සඳහා මංපෙත් විවර කෙරේ. සමාජයේ කුඩාම තැනුම් ඒකකය වන පවුල තුළ ඇති සමගිය, සාමදානය හා ප්‍රීතිමත් භාවය තුළින් එම පවුලේ සුභසාධනය මෙන්ම සමාජ සුබසාධනයට ද මඟ පෙන්වයි.

    සමාජ විද්‍යානුකූල ඇසින් බැලුවහොත් පවුල යනු “දරුවන් ඇති දැඩි කරගෙන ආර්ථික සහයෝගීතාවක් පවත්වාගෙන යමින් එක් නිවසක එකට වාසය කරන විවාහක යුවළක් හෝ ඥාතීන් සමූහයක්” යනුවෙන් සරලව අරුත් ගැන්විය හැකි ය. පවුලේ කාර්යභාරය වශයෙන්,

    • ජීව විද්‍යාත්මක කාර්‍යන්
    • ආර්ථික කාර්‍යයන්
    • සංස්කෘතික කාර්යයන්
    • මනෝ විද්‍යාත්මක කාර්යයන්

    මූලික වශයෙන් හඳුනා ගැනීමට පුළුවන. මූලික වශයෙන් ම විවාහයක් පදනම් කරගනිමින් පවුල බිහිවන බව මෙම නිර්වචනයට අනුව සරලව හඳුනා ගැනීමට හැකි වන අතරම පවුලේ සැමියා හා බිරිඳ ට එම පවුල තුළ විශාල කාර්ය භාරයක් සහ තත්ත්වයක් පවතින බව වැඩිදුරටත් හඳුනා ගැනීමට හැකිවේ. පුරුෂයකු හා ගැහැනියක අතර ඇතිවනවන නීත්‍යානුකූල ලෙස ලිංගික සබඳතා ඇති කිරීමේ නෛතික ගිවිසුමක් වශයෙන් සමාජ විද්‍යාත්මක ඇසින් විවාහය යන්න නිර්වචනය කිරීමට පුළුවන. එසේ පුරුෂයකු හා කාන්තාවක් මූලික වෙමින් ආරම්භ කරන පවුල පසු කාලීනව දරුවන් ලැබීම තුළින් තවදුරටත් විකාශනය වේ. මානව පරිණාම ක්‍රියාවලිය තුළ දී පවුල තුළ පුරුෂයාගේ කාර්යභාරය වී ඇත්තේ පවුල සඳහා ඉපයීම වන අතර වන අතරගැහැණිය රැස්කිරීම, ආරක්ෂා කිරීම වැනි කාර්යභාරයන් සිදු කොට ඇත. පුරුෂයා විසින් සතුන් හඹාගොස් දඩයම් කොටඇති අතර ගැහැනියගේ   කාර්ය භාරය වී ඇත්තේ තම දරුවන් ආරක්ෂා කර ගනිමින්, ආහාර පිසිමින්, පරිසරයෙහි ඇති දේ රැස් කිරීමයි.

    වසර දහස් ගණනක් කාලයේ ඇවෑමෙන් හෝමෝ සේපියන්ස් මානවයා බවට පරිවර්තනය වී ඉතා සංකීර්ණහා දියුණු සමාජ රටාවක ට අවතීර්ණ වී සිටින, වර්තමානයේ පවුල තුළ ස්ත්‍රියගේ හා පුරුෂයාගේ භූමිකාවන් හාත් පසින් වෙනස් වී ඇති බවක් නිරීක්ෂණයවන අතර මෙම සංකීර්ණත්වය තුළින් ස්ත්‍රී  පුරුෂ භූමිකාව විශාල වශයෙන් පරිවර්තනයකට ලක් වී ඇති බව අධ්‍යයනය කළ හැකි වේ.

    තාක්ෂණික දියුණුවේ ඉහළම තලයක් දැකගැනීමට හැකි වර්තමානයේ දී මානව සම්බන්ධතාවයන්ට පත් වී ඇති ඉරණම ඉතා දුක්ඛ දායක වේ. පවුලේ සැමියා බිරිඳඅතර සිදුවී ඇති කාර්යභාර ඝට්ටනය හා අනෙකුත් මානව, සමාජයීය හේතු නිසා පවුල් සබඳතා දුර්වල වී ඇති අතර එකිනෙකා තේරුම් නොගැනීම හා අවබෝධ කර නොගැනීම ඊට ප්‍රධානතම හේතුවක් බවට පත් වී ඇත.

    ස්ත්‍රිය හා පුරුෂයා ගේ ශාරීරික සැකැස්ම හා මනෝ භාවයන් මෙන්ම සමහර ජීව විද්‍යාත්මක ලක්ෂණ එකිනෙකාගෙන් වෙනස් වීම මීට ප්‍රධානම හේතුව වනඅතර  ඒ පිළිබඳ ව මූලික අවබෝධයක් නොතිබීම තුළින් ස්ත්‍රීන් හා පුරුෂයන් අතර පවුල් ජීවිත ගත කිරීමේ දී ඉතා විශාල ගැටුම්කාරී තත්වයන් ඇතිවන බව පැහැදිලි කරුණකි.

    ගැහැනිය සහ පිරිමියා අතර විද්‍යාත්මක වශයෙන් පවතින වෙනස්කම් රාශියකි. මෙම වෙනස්කම් පිළිබඳවගැහැණිය සහ පිරිමියා අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය මත ගැටුම් ඇති වන්නේද, නැද්ද යන්න තීරණය වේ. ඉතා සරලව පවසන්නේ නම් ස්ත්‍රිය හා පුරුෂයකු අතර පවතින අන්‍යෝන්‍ය වෙනස්කම් හඳුනා නොගැනීම හා අවබෝධ කර ගැනීමට ඇති අපොහොසත් භාවය හේතු කොට ගනිමින් බොහෝ අවස්ථා වලදී එම  ගැටළු, දුරදිග ගිය පවුල් ආරවුල් වශයෙන් වැඩි දියුණු  වී විවාහය දික්කසාදයකින් කෙළවර වන අවස්ථා සුලබ බව නිරීක්ෂණය කර ගැනීමට පුළුවන.

    ගැහැණුන් උපතින්ම සංවේදතාවය වැඩි කොට්ඨාශයකි. ඒ පිළිබඳව සිදු කොට ඇති පර්යේෂණ මඟින් මඟින් හෙළි වී ඇත්තේ පංච ඉන්ද්‍රියන් ඇසුරෙන් ලබන සංවේදනයන් ගෙන් ගැහැනිය පිරිමියා අභිබවන බවයි. දෘෂ්ටිය සම්බන්ධයෙන් සලකා බලතොත්, ගැහැනිය ගේ දෘෂ්ටි පරාසය පුරුෂයාට වඩා වැඩි බව පර්යේෂණ මගින් තහවුරු කොටගෙන ඇත.

    ගැහැණියට එකවර අංශක 180 ක පුළුල් පරාසයක් දැකීමට පුළුවන. සැමියාට එකවර සොයා ගත නොහැකිව කෑ ගසමින් සිටින, ලාච්චුවක හෝ රාක්කයක් මත ඇති යතුරු කැරැල්ලක් බිරිඳ විසින් එකවර සොයා ගන්නේඑම හේතුවෙනි. “ගැහැනුන්ට පස්සෙත් ඇස් තියෙනවා” යන ප්‍රසිද්ධ කියමන ගොඩ නැගී ඇත්තේ මෙවැනි කාරණා ඇසුරෙන් වීමට පුළුවන.

    ඇසේ සැකැස්ම වශයෙන් ගතහොත් පිරිමියාගේ ඇස් ගැහැණුන්ගේ ඇස්වලට වඩා මදක් විශාල වුවද, පිරිමි ඇසේ දෘෂ්ටි විතානය සැකසී ඇත්තේ අතීත දඩයක්කාරයාට තම ගොදුර දෙස එක එල්ලේ බලා, හඹා ගොස් දඩයම් කර ගැනීම සඳහා අවශ්‍ය වූ පරිදි තනිකෙලින් එක එල්ලේ ඈත බැලීම සඳහාය. මේ පිළිබඳව පර්යේෂණයන් මගින් ද තහවුරු කොට ඇත.

    පාර මාරු වීමේ දී සිදුවන අනතුරු සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ හා ඕස්ට්‍රේලියාවේ කෙරී ඇති පර්යේෂණයන්ට අනුව අනාවරණය වී ඇත්තේ පාර මාරු වීමේදී ගැහැනුන්ට සාපේක්ෂව දෙගුණයකින් පිරිමින් අනතුරට ලක් වී ඇති බවයි. එවැනි අවදානමක් පිරිමින්ට ලැබී ඇත්තේ එකවර අවට වටපිටාව දැකීමේ හැකියාව සීමා සහිත වීම හේතු කොට ගෙන ය. පුරුෂයා “වෙනත් ස්ත්‍රීන් දෙස බලන්නේ ය” යන දෝෂාරෝපණයට නිරන්තරයෙන් ලක් වෙන්නේ ද මෙම හේතුව නිසා ම ය.

    පිරිමින්ට සාපේක්ෂව ගැහැණුන් ඊට සමාන චෝදනාවක් ද ලක් නොවන්නේ ගැහැණු පිරිමින් දෙස හොරෙන් නොබලන නිසා නොව, ගැහැනුන් පිරිමින් මෙන් එක එල්ලේ යමක් දෙස නොබලන බැවිනි. පිරිමියා අතීත දඩයක්කාරයා මෙන් නිශ්චිතව දෑස් එල්ල කොටඑක එල්ලේ යමක් දෙස බැලීම හේතුවෙන් නිරතුරු ව මෙම චෝදනාවට ලක් වේ.

    දෘෂ්ටියට අමතරව ගැහැනුන්ට පුළුල් පරාසයක වර්ණාවලියක් දැකීමේ හැකියාවක් පවතී. ගැහැනියගේ ක්‍රෝමසෝමනිර්මාණය වී ඇත්තේ ‘xx’ වශයෙන් වෙන අතර පුරුශයාගේ එය ‘xy’ වේ. ඇස් වලටවර්ණ දැකීමේ සෛල ලබාදෙන්නේ ‘x’ නැමැති ක්‍රෝමසෝම ය තුළිනි. කාන්තාවට මෙම  ‘x’ ක්‍රෝමසෝම දෙකක් පිහිටීම නිසාකාන්තාවට ස්වභාවයෙන්ම වර්ණ පුළුල් පරාසයකින් යුතු හඳුනා ගැනීමට පුළුවන.

     පිරිමියා බොහෝවිට සමත් වන්නේ නිල්, කොළ, රතු වැනි මූලික වර්ණ පමණක් හඳුනා ගැනීමට වන අතර ගැහැනිය එකම වර්ණයක් තුළ විවිධාකාර පරාසයන් හඳුනා ගැනීමට සමත් වේ. නිල් පැහැය තුල ඇති අහස් නිල, මොනර නිල වැනි ප්‍රභේද කාන්තාවන්ට හදුනා ගත හැකි වන්නේ ඉහත කී ලක්ෂණය හේතුවෙන් වන අතර ස්වාමි පුරුෂයා බිරිඳ විසින් පවසන වර්ණයක ඇඳුමක් හෝ වෙනත් භාණ්ඩයක් එම වර්ණයෙන් ම තෝරාගෙන ඒමට අසමත් වන්නේ මෙම හේතුව නිසා වෙනි.

    මීට අමතරව පර්යේෂණවලින් හෙළි වී ඇති පරිදි ගැහැණුන් ගේ කන් ඇසීම පිරිමින්ට වඩා තීව්‍ර වන අතර උච්චාරණය ඉහළ පහළ බව ක්ෂණිකව හඳුනා ගැනීම ව හඳුනා ගැනීමට හැකියාව ඇත.  රාත්‍රියේ දරුවා නින්දෙන් ඇහැරී කෙඳිරි ගාන විටම පියාට පෙර මව අවදි වන්නේ ගැහැණුන් සතු තීව්‍ර ශ්‍රවන හැකියාව හේතුවෙනි. එසේම ගඳ සුවඳ හා රස දැනීමේ සීඝ්‍රතාවයද  පුරුෂයන්ට වඩා කාන්තාවන් ට වැඩි බව පර්යේෂණ මගින් අනාවරණය වී ඇත. මෙම කාය ජීව වෙනස්කම් නිසා නිවසේ රූපවාහිනියේ ශබ්දය වැඩි වීම නිසා සැමියා, බිරිද අතර ඇතිවන ගැටළු සේම ස්වාමියා විසින් බිරිඳ සමග  එදිනෙදා සිදුකෙරෙන සංවාද වලදී තම කටහඬ උස පහත්කිරීමේ විලාසය කරණ කොට ගනිමින් ඇතිවන ගැටුම් අස්වභාවික ඒවා නොවන බවත් හුදු ජීව විද්‍යාත්මක වෙනස් කම් තුලින් පැන නගින ඒවා පමණක් බවත් අවබෝධ කරගැනීමෙන් පවූල් තුල ඇතිවන ගැටළු අවම වනු ඇත.

    ගැහැනුන්ගේ සම පුරුෂයන්ට සාපේක්ෂව තුනී වන අතර සමේ සංවේදීතාවය අතින් බැලුවොත් පුරුෂයාගේ සමට වඩා දස ගුණයකින් ඇල්ලීමට තෙරපීමට හා ස්පර්ශයට සංවේදී වේ. කුඩා ගැහැනු දරුවන් තමාව ඇල්ලීමට, අතපත ගෑමට හා සිප ගැනීමට ඉතාම කැමැත්තක් දැක්වුවත් කුඩා පිරිමි ළමයින් එසේ කිරීමට අකමැති වන්නේ මේ හේතුව නිසාවෙනි. වැඩිහිටි කාන්තාවන් ද  තම ස්වාමි පුරුෂයාගෙන් හෝ ප්‍රේමවන්තයාගෙන් වැලඳගැනීම්, සිප ගැනීම් හෝ ස්පර්ශ කිරීම් සඳහා වැඩි කැමැත්තක් දක්වන්නේ මෙම කරුණු හේතුවෙනි.

    එසේ ප්‍රමාණවත් පරිදි තම සහකරුවා ගෙන් ස්පර්ශයන් නොලැබී යන විට කාන්තාව, පුරුෂයා තමන්ව ‘ගණන් නොගනී’, ‘ආදරය නොකරයි’, ‘අවධානයක් නොදක්වයි’ යනුවෙන් වැරදි නිගමන නිගමන වලට එළඹේ. කාන්තාවන් ගේ සිත දිනා ගැනීමට නම් මෙම කාරණය පුරුෂ පක්ෂය විසින් අවබෝධ කර ගැනීම ඉතා වැදගත් ය.

    සන්නිවේදන හැකියාව පිළිබඳ සලකා බැලුවහොත් කාන්තාවන් සිටින්නේ පුරුෂයන්ට වඩා ඉහළ මට්ටමක වේ. පර්යේෂණ වලින් හෙලිවී ඇති අන්දමට කාන්තාවක් දිනකට සාමාන්‍යයෙන් වචන විසි දාහක් (20000) පමණ කතා කරනු ලැබේ. වචන, ශබ්ද හා අංග චලන මීට ඇතුළත් ය. පුරුෂයන් මින් හරි අඩකට වත් ළඟා නොවන අතර සංඛ්‍යාත්මක ව බැලුවොත් පුරුෂයකු විසින් දිනකට සාමාන්‍යයෙන් කතා කරනු ලබන වචන සංඛ්‍යාව වචන හත් දහසක් (7000) පමණ වේ. දවස අවසානයේ රැකියාවට ගොස් පැමිණි පසු, දහවල් කාලයේදී කාර්යාලයේ හෝ අතර මගදී පිරිමියා විසින් තමාගේ වචන 7000 කතා කොට අවසාන තිබුණේ නම් ඔහුට අවශ්‍ය වන්නේ නිවසට පැමිණ විවේකීව නිශ්ශබ්දව සිටීමටය.

     ගැහැනියගේ වචන විසිදාහ යම් හෙයකින් කතා කොට අවසන්ව නොතිබුණේ නම් ගැහැණියට අවශ්‍ය පිරිමියා හා දොඩමලු වීමට ය. ඇගේ දවසේ ඉතිරි වචන සියල්ල පැවසීමට අවශ්‍ය වනු ඇත. තමාගේ වචන කෝටාව අවසන් කළ පිරිමියාට මෙය මහත් හිසරදයක් වනු ඇත. ඔහුගේ වචන සීමාව මේ වන විටත් අවසන් ව ඇති බැවින් පිරිමියා විසින් සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ බිරිඳ විසින් කරනු ලබන කතාවට නිහඬව සවන් දීමයි. මෙම නිහඬතාවය බිරිඳ විසින් දකින්නේ තමා ගණන් නොගැනීමක් හෝ ආදරය නොකිරීමක් ලෙස ය. ගැහැනුන්ගේ දවස අවසානයේ මෙබඳු කථාවන් පිරිමියා දකින්නේ අඳෝනාවක්, කන්කරච්චලයක් ලෙසය. මෙම ගැටලුව වෙනත් දුරදිග ගිය විශාල ආරවුලක් දක්වා ගමන් කළ හැකි අතර මේ පිළිබඳව නිසි අවබෝධයකින් සිටි නම් සන්නිවේදන වෙනස හේතුවෙන් ඇතිවෙන ගැටළු සහගත තත්වයන් අවම කර ගැනීමට හැකිවනු ඇත. විශේෂයෙන් ම තමා ගේ කතාවට සවන් දීම හැර තම සැමියා විසින් කතාවේ ගැටළු වලට විසඳුම් ලබා දීම හෝ ඊට ප්‍රතිචාර දැක්වීමක් අපේක්ෂා නොකෙරෙන බැවින් බිරිඳට සවන් දීම තුළින් පමණක් තම සැමියා තමා ට අවධානය යොමු කරන බව අවබෝධ වන අතර ඉන් ඇය සතුටට පත් වේ. හොඳ සවන් දෙන්නෙකු වීම යුග දිවියේ සාර්ථකත්වයට නො වරදින රහසකි.

    අවකාශමය හැකියාවන් පිළිබඳව අවධානය යොමු කිරීමේ දී ගැහැණියට වඩා පුරුෂයා ඉදිරියෙන් සිටී. අවකාශ මේ හැකියාව යනුවෙන් හඳුන් වන්නේ අවට පරිසරය, හිස් අවකාශයක් මනෝමය වශයෙන් පරිකල්පනය කිරීමේ හැකියාවයි. ගැහැණුන්ට වඩා පිරිමින් ගේ අවකාශ හැකියාව වඩාත් පුළුල් වන අතර ඊට හේතු වන්නේ ගැහැණු මොලයේ හා පිරිමි මොලයේ සැකැස්ම වෙනස් වීමයි.

    ඓතිහාසිකමය වර්ධනය අනුව ඉතා දිගු කාලයක් කෑම සොයා ඔබ මොබ හැසිරුණු දඩයක්කාරයාගේ චරිත රඟ පෑ පුරුෂයා ආහාර හා ගොදුරු සොයා බාහිර පරිසරය තුළ තුල ඔබ මොබ හැසිරීමත් සමග තමන්ගේ අවකාශ හඳුනා ගැනීමේ හැකියාව දියුණු හා තියුණු බවට පත් කර ගත් අතර, තම ගල්ගෙය හෝ නිවස හා දරුවන් රැක බලා ගනිමින්කෑම බීම පිසිමින්එක් තැනක රැඳෙමින් ‘රැකබලා ගන්නීය’ ගේ චරිතය රඟපෑ ගැහැණිය දරුවන් හා සැමියා සමග නිවස තුළ අවකාශයකට කොටු වී, අවකාශ සබඳතාවන් සීමා වීම තුළින් පරිණාමික ව මෙම තත්ත්වයට පත් වී ඇති බව අධ්‍යනයන් මගින් හෙළිදරව් වී ඇත. පිරිමියාගේ දකුණු මොළයේ ඉදිරිපස ස්ථාන හතරක හා වම් මොළයේ යම් වශයෙන් අවකාශ හැකියා කලාපයන් ස්ථිරවම පිහිටා තිබෙන බැවින් ස්ත්‍රියට සාපේක්ෂව පුරුෂයාගේ අවකාශ හැකියාව වැඩි වන අතර මේ තුළින් තුළින් පිරිමියා ත්‍රිමාණ දෘෂ්ටියක් හිමිකර ගනියි.

    පිරිමියා හා සාපේක්ෂව බලන විට ගැහැනියගේ මොළයේ වම් පස හා දකුණු අර්ධ ගෝල දෙකෙහිම නිශ්චිත නොවන සුළු වශයෙන් අවකාශ හැකියාවන් පිහිටා ඇති බව හඳුනා ගත හැකි අතරඑම හේතුව නිසා ගැහැනුන්ට  හිමිවන්නේ ද්විමාන දෘෂ්ටියකි. මේ හේතුව නිසා මගසලකුණු සහිත ව යම් ස්ථානයකට යන පාර කීම, සිතියම් කියවීම හා වරක් ගිය ස්ථානයකට නැවත නිවැරදිව මග සොයා ගෙන යාම වැනි කාර්යයන් ස්ත්‍රීන්ට අපහසුය. සිතියමක් කියවීමේ දී ද්විමාන රූප සංජානනය සහිත කාන්තාවගේ අවධානය යොමු වන්නේ යොමු වන්නේ සිතියමේ ඇති වර්ණයන්, රූප හෝ සලකුණු කෙරෙහි ය. නමුත් ත්‍රිමාණ රූපී සංජානනීය හැකියාව සහිත පුරුෂයා විසින් ස්ථානය, දිශාව හා අනෙකුත් ලක්ෂණයන් තුළින් නිවැරදිව සිතියම කියවීමට සමත්ය. පිරිමින් හා සාපේක්ෂව ප්‍රබල සංජානනයක් පෙන්නුම් කිරීමට සමත්වන්නේ කාන්තාවන්ගෙන් 10% පමණක් බව පර්යේෂණ මඟින් හෙළිදරව් කරගෙන ඇත.

    ගැහැණු මොළයේ සහ පිරිමි මොළය ක්‍රියාත්මක වන්නේ ආකාර දෙකකට ය. ගැහැනු මොළයේ බහු මාර්ගික (Multitracked) ය. ඒ මගින් එක් වරකට අදහස් එකකට වඩා කිහිපයක් නිකුත් කල හැකි අතර කතාකරන අතරතුර ම සවන්දීම ද සිදු කිරීමට කාන්තාවන්ට පුළුවන. නමුත් කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි මොළය ඒක මාර්ගික (Single-tracked) වේ. එක් වරකට ප්‍රකාශ කළ හැක්කේ එක් අදහසක් පමණි. කතා කරන අතරතුර සවන්දීමේ හැකියාව පුරුෂයන්ට නොමැත. පිරිමින්ගේ වාක්‍ය කෙටි වන අතර සරල අදහස් හා ඍජු ප්‍රකාශනයක් ඇත. ගැහැනුන්ගේ වාක්‍ය දිගු වන අතර, අදහස් සංකීර්ණ ය. මිශ්‍ර අදහස් ඇති අතර භාෂණය වක්‍රාකාර වේ. උදාහරණයක් වශයෙන් ගතහොත්-වාහනයක ගමන් ගන්නා අතර තුර බිරිඳ විසින් තම ස්වාමිපුරුෂයා ගෙන් “ඔයාට තිබහයිද ?” යනුවෙන් අසයි. වාහනය පැදවීමේ අවධානයෙන් සිටින සැමියා විසින් තමාට තිබහ නොමැති බව පවසයි.

    ටික වෙලාවක් යන විට බිරිඳගේ මුහුණ වෙනස් වී කතාව අඩු වී ගොස් පසුව “පුතේ, බස් එකේ යනවා වගේ නේද ගමන ?” යනාදී වශයෙන් ඇනුම්පද පිට වෙයි. කිසිවක් නොතේරුණු සැමියා අන්ද මන්ද වන අතර මෙම වචන හුවමාරුව දුර දිග ගොස් විශාල රණ්ඩුවක් පවා ඇති වීමේ ඉඩ කඩ ඇත. “ඔයාට තිබහයිද ?” යනුවෙන් බිරිඳ විසින් කලින් කරන ලද ප්‍රකාශය තුලින් ඇය විසින් ඇත්තෙන් ම අදහස් කර ඇත්තේ ඇයට යමක් පානය කිරීමට ඇති අවශ්‍යතාවය හෝ ගමන මඳක් නතර වී  විඩා හැරීමේ අවශ්‍යතාවයයි.

    පිරිමියාට එය අවබෝධ කර ගැනීමට නොහැකි වන්නේ පිරිමි මොළය කෙළින් කතාව සඳහා සැකසී ඇති බැවිනි. වක්‍රාකාර කතාව පිරිමියාට නුහුරුය. එබැවින් ගැහැණුන් වක්‍රාකාරයෙන් පවසන්නේ කුමක්ද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම තුළින් ස්වාමිපුරුෂයා හා බිරිඳ අතර ඇතිවෙන ගැටුම්කාරී තත්ත්වය අඩු කර ගනිමින් යහපත් සන්නිවේදනයක් ගොඩනඟා ගැනීමට හැකි වනු ඇත.

    චිත්තවේගික සංවේදී තාවය පිලිබඳ අවධානය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි චිත්තවේගික සංවේදීතාවයක් පෙන්නුම් කරන බව හඳුනා ගැනීමට පුළුවන. පිරිමින්ගේ දකුණු මොළයෙහි ස්ථාන දෙකක චිත්තවේගික කලාප සරමක් ඝනව පිහිටා ඇති අතර පිරිමියාගේ වම් මොළයෙහි චිත්තවේග කලාප පිහිටන්නේ නැත. නමුත් ගැහැණු මොළයේ වම, දකුණ යන පාර්ශ්වයන් දෙකෙහිම චිත්තවේගික සංවේදිතාව පිරිමියාට වඩා බෙහෙවින් වැඩි ය.ගැහැනුන්ට හිමි වන විශේෂිතාව වන්නේ කෝපය, ශෝකයවැනි චිත්තවේගයක් ඇති වූ විට  ඒ සමගම, ඒ පිළිබඳව තාර්කිකව කතා කිරීමේ හැකියාව ලැබීමයි.

    ගැහැනියකුට හඬමින් සිටින අතරතුරම තමන්ගේ දුක් ගැනවිල්ල සාධාරණීකරණය කරමින් තර්කානුකූලව කතා කිරීමේ හැකියාව ලැබී ඇත්තේ ගැහැනියගේ මොළයෙහි මෙම පිහිටීම නිසාවෙනි. ගැහැනුන් චිත්තවේගික වූ විට කතාවෙහි විශිෂ්ට වන අතර පිරිමියා ඊට හාත්පසින් ම වෙනස් ය. චිත්තවේගික වූ විට පිරිමියා ඉතා රළු වන අතර එවිට පිරිමියෙකු සමග හරි වැරැද්ද සාකච්ඡා කළ නොහැකි වේ. කෝපයට පත් වී සිටින පිරිමින් සමග යුක්තිය හෝ හරි වැරැද්ද පිළිබඳව කතා කිරීමට යාම නිෂ්ඵල කාර්යයක් වන්නේ පිරිමි මොලයේ සැකැස්ම අනුව පිරිමියා චිත්තවේගික වූ විට හරි වැරැද්ද, යුක්තිය අයුක්තිය නොපෙනෙන රළු පුද්ගලයකු බවට පත් වීමයි. එවිට තමා සිදුකරන දෙයහි හරි වැරැද්ද නො පෙනී යයි. බන්ධනාගාර ගත වී සිටින ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයක් පුරුශයින් වීම මෙයට හොඳම නිදසුනකි.

    එබැවින් මෙම තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් චිත්තවේගික වූ පිරිමින් සමග ගනුදෙනු කල යුතු ආකාරය පිළිබඳව දැනුවත් ව සිටීම කාන්තාවන්ට ඉතා වැදගත් වනු ඇත. එය තුළින් පවුල් ජීවිතය තුළ ඇති වන ගැටුම් අවම කර ගැනීමට හැකි වනු නොඅනුමානය.

    දඩයක්කාරයකු, ලුහුබැඳ යන්නෙකු ලෙස මෙන්ම අභියෝග ජයගන්නකු වශයෙන් ද ඓතිහාසිකව භූමිකාවක් නිරූපණය කළ පිරිමියා නිරතුරුව සාර්ථකත්වය හා ජයග්‍රහණය පිළිබඳව උද්දාමයට පත් වන සුළු පෞරුෂයකින් යුතු පුද්ගලයකු වන අතර, ‘රැකබලා ගන්නියක’ ලෙස ඓතිහාසික භූමිකාවක් නිරූපනය කළ ගැහැණිය පරම්පරාව ඉදිරියට ගෙන යමින්, ආරක්ෂා කරමින්, ඇති දැඩි කිරීම තමන්ගේ වගකීමක් ලෙස සලකයි. වර්තමාන සමාජයීය පවුල තුළ ස්වාමි පුරුෂයාගේ හා බිරිඳගේ භූමිකාවන් යම් මට්ටමකින් වෙනස් අතකට හැරී තිබුණ ද, සමස්තයක් වශයෙන් බහුතර පිරිමින්ගේ අදහස වන්නේ හරි හම්බ කරමින් පවුල නඩත්තු කිරීම සඳහා තමන්ගේ වැඩි දායකත්වය පවතින බවයි. බහුතර කාන්තාවන් ගේ අදහස වන්නේ තමන් හරි හම්බ කරමින්, ඒ අතරතුර ම පවුල නඩත්තු කරමින්, පවුලේ සුබසාධනය වෙනුවෙන් කැපවී සිටින බවයි.

    සත්‍ය වශයෙන්ම සලකා බැලුවහොත් මෙම මත දෙකම නිවැරදි ය. සැමියා හා බිරිද යන දෙදෙනාගේ අන්‍යොනය කැපවීම, එකිනෙකා  පිලිබඳ මනා  අවබෝධයකින් යුතු වීම  හා බැඳීම මත  පවුලේ සාර්ථකත්වය රඳා පවතී.  ස්ත්‍රීයගේත්  පුරුෂයාගේත් මනෝ විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක විෂමතාවයන් හා විශේෂිත ලක්ෂණයන් හා වෙනස් කම් පිළිබඳව එකිනෙකා අතර හොඳ අවබෝධයකින් පසු වේ නම්, සැමියා හා බිරිඳ අතර ඇති වනගැටළු අවම වී, හොඳ සන්නිවේදනයක් ගොඩනැගී, ඒ තුළින් යහපත් හා ප්‍රීතිමත් පවුල් ජීවිතයක් කරාමග පෑදෙනු ඇත.

    ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න

    සාම විනිසුරුවරියක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශන මනෝවිද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත. මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවය පිලිබඳ උපදේශනය, විශේෂ පුහුණු මෙන්ම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීනිය ලෙස කටයුතු කරයි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ප්‍රවීණ මනෝ උපදේශිකා ආර්. එම්. සංජීවනී සෙනෙවිරත්න
    සාම විනිසුරුවරියක් වන ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ උපදේශන මනෝවිද්‍යාව සහ මනෝ විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් ඇතුළුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්ති ක්‍රමය පිළිබඳ විශේෂ උපාධියක්ද හදාරා ඇත. මත්ද්‍රව්‍ය ඇබ්බැහි තාවය පිලිබඳ උපදේශනය, විශේෂ පුහුණු මෙන්ම ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රජා විශෝධන නිලධාරීනිය ලෙස කටයුතු කරයි.

    ඔබේ අදහස් දක්වන්න.