fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්චීන ජනපතිගෙන් විශේෂ පණිවිඩයක් ජනපතිට

    චීන ජනපතිගෙන් විශේෂ පණිවිඩයක් ජනපතිට

    චීන ජනාධිපති ෂී-ජින්-පින් මහතා එවූ විශේෂ පණිවිඩයක් මෙරට චීන තානාපති චි ෂෙංහොන්ග් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දී තිබේ.

    ඒ පසුගිය (16) කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහහතා හමු වූ අවස්ථාවේදී ය.

    මෙහිදී චීන තානාපතිවරයා වැඩිදුරටතත් කරුණු දක්වමින් ජනාධිපතිවරයා සමඟ කළ සාකච්ඡාවේදී පවසා ඇත්තේ චීනය සහ ශ්‍රී ලංකාව අතර සිදු කෙරෙන ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.

    ඒ අනුව මේ සතියේ සිට චීනය, ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් වාර 03ක් සිදු කරයි.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයට වැඩි වාර ගණනක් චීනය වෙත පැමිණීමට ද අවස්ථාව සැලසේ.

    චීන රජය ශ්‍රී ලංකාවට ලබා දුන් සහ දීමට අපේක්ෂිත ආර්ථික හා මානුෂීය ආධාර පිළිබඳ තානාපතිවරයා ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇත.

    චීනයේ අධ්‍යාපනය හදාරන ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට යළි එරටට පැමිණ අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබා දීමට පියවර ගෙන තිබේ.

    ද්විපාර්ශ්වික වෙළෙඳාම හා ආර්ථික ක්‍රියාකාරකම් තවදුරටත් වර්ධනය කරගැනීම කෙරෙහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණ.

    මෙරට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හමුවේ මිත්‍ර රටක් ලෙස චීනය ලබා දෙන සහාය පිළිබඳ ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කළේය.

    මේ අතර ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රාමුව තුළ සිට සහාය දෙන බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නෙයිල් මහත්මිය අද (20) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවේදී පවසා තිබේ.

    නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ක්ලෙයාර් ඕ’නෙයිල් මහත්මිය නීතිවිරෝධි සංක්‍රමණ සහ මිනිස් ජාවාරම් සඳහා “ශූන්‍ය අවකාශයක්” සැලසීමේ ඕස්ට්‍රේලියාවේ පෙර පැවති කොන්සර්වේටිව් රජයේ ප්‍රතිපත්තිය බවත් කම්කරු පක්ෂය නියෝජනය කරන නව රජයේ ප්‍රතිපත්තිය ද එයම බව එහිදී පවසා ඇත.

    නීති විරෝධි සංක්‍රමණ වැළැක්වීමට තමා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී ගත් ක්‍රියාමාර්ග පැහැදිලි කළ ජනාධිපතිවරයා නාවික හමුදාව එම පියවරයන් ඉදිරියට ගෙන යමින් ඇති බව පැවසීය.

    ඕස්ට්‍රේලියානු රජය නෞකා, තාක්ෂණික සහ ද්‍රව්‍යමය ආධාර සපයමින් ඊට දෙන සහාය අගය කළ රාජපක්ෂ මහතා දෙරට මනා සබඳතාවයකින් කටයුතු කරමින් සිටින බව සඳහන් කරනු ලැබී ය.

    ඉන්දියන් සාගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියාව දැඩි අවධානයෙන් පසුවේ. එම අවශ්‍යතාව සපුරාලමින් ඉන්දියන් සාගරය ආරක්ෂක කලාපයක් ලෙස පවත්වා ගෙන යාමට තම රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

    නාවික හමුදාවේ 50දෙනෙක් මේ වන විට විශේෂ පුහුණුව සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිති. එවැනි පුහුණු අවස්ථා සහ මෙරට ආරක්ෂක හමුදා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳ ජනාධිපතිවරයා සිය ප්‍රශංසාව පළ කරනු ලැබී ය.

    රේගු පරිපාලනය සම්බන්ධයෙන් ඇති අත්දැකීම් ලබා දෙමින් රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති උත්පාදන වැඩසටහන සාර්ථක කර ගැනීමටත් සහාය වන බව අමාත්‍යවරිය සඳහන් කළාය.

    ධීවරයන් නියාමනය, වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සිසුන්ට උසස් අධ්‍යාපනය ලබා ගත හැකි කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමට සහාය වීමට තම රජය සූදානම් බවත් අමාත්‍යවරිය පැවසුවාය.

    ඕස්ට්‍රේලියානු දේශ සීමා බලකායේ සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ APM කොමසාරිස් මයිකල් අවුට්‍රම් , ඒකාබද්ධ නියෝජිතායතන කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී ජස්ටින් ජෝන්ස්, ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි, පළමු ලේකම් ඇෂ්ලි ඇල්ඩර්ටන්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජනරාල් කමල් ගුණරත්න, විදේශ ලේකම් අරුණි විජේවර්ධන, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න යන මහත්මමහත්මීහු මේ අවස්ථාවට එක් ව සිටියහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.