fbpx
තවත්
    මුල් පිටුවspecialඝර්ම නව කතාවේ එන තීර්ථ ඔබ තුළ ජීවත්වනවාදැයි සොයන්න

    ඝර්ම නව කතාවේ එන තීර්ථ ඔබ තුළ ජීවත්වනවාදැයි සොයන්න

    “ඝර්ම” සිංහල සාහිත්‍යට අලුතින්ම එක් වූ නවකතාවක්. එහි රචකයා වන තිලංග ෆොන්සේකා වත්මන විදේශගතව ජීවත් වූවත් නිවුස්වේව් පුවත් වෙබ් අඩවිය සමග සම්මුඛ වීමට ඔහුගේ කාර්යයබහුල ජීවන රටාවෙන් සුළු කාලයක් මිඩංගු කිරීමට කාරුණික වූවා. මේ ඔහු හා සමග අන්තර්ජාලය හරහා සිදු කළ සාකච්ඡාවක සටහනයි.

    අප ඔබව මුලින්ම හදුනා ගන්නේ ජනමාධ්‍යවේදියෙක් ලෙසට ඔබ විදේශගත වීමෙන් පසුව ජනමාධ්‍යය මුළුමනින්ම අතහැර දමා නීති වෘත්තියට පිවිසෙනවා, නමුත් අද ඔබගේ කුළුදුල් නවකතාව ප්‍රකාශයට පත් කරලා. මේ අනුව සමාජය ඔබව හදුනා ගත යුත්තේ කුමන අයුරින්ද?

    එය සමාජයට භාර කටයුත්තක්. එය ඉරකින් වෙන් කොට කළ නොහැක්කක්. මන්ද මා විසින් රචිත පුවත්පත් ලිපි කියවා හදුනා ගත් සමාජය මා ජනමාධ්‍යවේදියෙක් වශයෙනුත්, නීති කටයුතු වලදී පමණක් ගනුදෙන් කළ සමාජය මා නීතිඥයෙක් වශයෙනුත් මාගේ නවකතාව කියවා මා හදුනා ගන්නා පාඨකයින් මා නවකතාකරුවකු ලෙසත් හදුනා ගනු ඇති. නමුත් මා වඩාත් ප්‍රිය වන්නේ ඉහත කී සමාජයන් ත්‍රිත්වයම මා හා එක ලෙස ගනු දෙනු කරනු දැකීමයි. නමුත් අප අවට සමාජය ඒ සදහා තවමත් සූදානම් දැයි මා හරි හැටි දන්නේ නැහැ.

    ඔබ හදිසියේම නවකතාකරණයට පිවිසෙන්නට හේතු වූයේ කවර නිමිත්තක්ද?

    ලේඛනය කියන්නේ මාගේ කුඩා කල සිටම වූ කැමැත්ත. එය ක්‍රමිකව මා සමගම වැඩුණු මාගේ සෙවනැල්ලක් වන්ව මා පසුපස රැදුනු දෙයක්. කොටින්ම මා විශ්වවිද්‍යාල සමයේදීම පුවත්පත් කලාවට පිවිසෙන්නේද ලේඛනය කෙරෙහි වු ප්‍රේමය නිසයි. නමුත් පුවත් කලාව තුල මා සෙවූ ලේඛනය ලැබුණේ නැහැ. ඒ නිසයි පසුකාලීනව මා එයට සමු දෙන්නේ. කොටින්ම වෘත්තිකයන් වී පවුල් පන්සල් වී කුඨුම්භ ගත ජීවිතයකට කොටු වුවද ලේඛනය මාහා රැදුනේ මාගේ අනියම් පෙම ලෙස මටත් රහසෙනි. එනිසා මෙම නවකතාව මා අතින් ලියැවෙන්නේ හදිසියේ නොවේ, බොහෝ කලක් දුටු සිහිනයක් සැබෑවීමක් ලෙසටයි. මේ වනවිට නවකතාකරණය තුල කතා කීමේ විවිද වර්ගීකරණයන් හමුවනවා, ඔබගේ ඝර්ම නවකතාව අයත් වන්නේ කුමන වර්ගයකටද?

    මට ඔබගේ ප්‍රශ්නය හමුවේ දීමට ඇති පිලිතුර ඉතා සරලයි. මෙම නවකතාව තවත් නවකතාවක් ලෙස සලකා කියවා රස විදිනවා මිස ඒ තුලට වර්ගීකරණයක් ගෙන ඒම එතරම් යෝග්‍ය නැහැ. මම පාඨකයා හට යෝජනා කරන්නේ මාගේ නවකතාව ඇතුලු ඕනෑම සාහිත්‍යයක් කියවනවිට තම සිතට එකගව නිදහසේ කියවන්න කියායි.

    ඔබගේ කතාවේ කතා නායකයා තීර්ථ, එම චරිතය ගොඩනැගීමේදී ඔබට ඔබගේ පෞදගලික අත්දැකීම් පාදක වන්න ඇති?

    තීර්ථ කියන්නේ මාගේ පෞද්ගලික ආත්ම කථනයක් නොවෙයි. මෙම චරිතය මා මනසේ ගොඩ නැගුනේ සමාජයේ මා ඇසුරු කළ් විවිධ චරිත ඇසුරෙණුයි. එම නිසා තීර්ථ කෙනෙක් මේ මොහොතේ මා ප්‍රශ්න කරන ඔබ තුල ජීවත් වනවා වන්නටත් පුළුවන්. නමුත් එය සොයා බැලීම ඔබ සතු සොදුරු වගකීමක්.

    ඔබ මෙම නවකතාව තුල චරිත ගොඩ නැගීමේදී අපූරු ප්‍රතිභාවක් පෙන්නුම් කරනවා. එසේම නැවුම් සාහිත්‍යමය අත්හදා බැලීම් පවා කර් ඇති බවක් පෙනෙන්නට තිබෙනවා. මෙහි ගොඩ නැගෙන උප ප්‍රධාන චරිතයක් වන ස්වර්ණා එනම් තීර්ථගේ මවගේ චරිතය ගොඩ නැගීමේදී ඇගේ සිත පවා දකිමින් ඒ පිළිබදව අපූරුවට වෙනත් සාහිත්‍යමය මානයක් ගොඩ නගන්නට උත්සහ කළ බවක් පෙනෙන්නට තිබෙනවා.

    ඔව් මා ඔබ සමග මෙහිදී එකග වනවා. මෙම කතාව තුල ස්වර්ණාගේ චරිතය පිටතට පෙනෙනවාට වඩා බොහෝ සංකීර්ණතාවලින් සමන්විත ගැහැනියක්. ඇයගේ චරිතය ගොඩ නැගීමේදී ඇගේ චරිතය බාහිරින් මෙන්ම අභ්‍යන්තරයෙන්ද පාඨකයා වෙත ගෙන ඒමට වුවමනා වූවා. ඒ සදහා ඇගේ සිත අවදි කරවීම නොකර සිටීම අපහසු වූවා. නමුත් මෙම ලක්ෂණය සාහිත්‍යය තුල තරමක් නව මුහුනුවරක් ගත්තද මෙය සමකාලීන බටහිර සාහිත්‍යයේ අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන ලක්ෂණයක්. කොටින්ම මෙම ලක්ෂණය මේ වනවිට ලාංකීය නවකතාකරණය තුලද දක්නට ලැබීම සතුට දනවන කරුණක්. නිදසුනක් වශයෙන් ඔබ ඉහත කී සාහිත්‍ය ලක්ෂණය මා මෑතකාලීනව හොදින්ම දුටුවේ කෞෂල්‍ය කුමාරසිංහගේ “නිම්නාගේ ඉතිහාසය” නවකතාව තුලයි.

    මෙම නවකතාව තුල චරිත ගොඩ නැගීමට අමතරව පාඨකයා තුල සංජානනය කරන්නේ සිනමාරූපී බවක්. ඒ සදහා කතාව ගලා යෑමේදී හමුවන සිදුවීම් ඊට බොහෝ සාක්ෂ්‍ය සපයනවා එය සිතාමතා ඔබගේ නිර්මාණය වෙත ඇතුලත් කළ අංගයක්ද?

    විශේෂයෙන්ම උසස් ශ්‍රව්‍ය දෘෂ්‍යමය නිර්මාණ මගින් අප වෙත රූපනය වන කලාවට මම පෞද්ගලිකව රුචියක් දක්වනවා. ඒ අතුරින් චිත්‍රපට සදහා විශේෂිත ස්ථානයක් මා ලබා දෙනවා. එලෙසම මුද්‍රිත මාධ්‍යයෙන් වුවද ශ්‍රව්‍ය දෘෂ්‍යමය ප්‍රයෝග මගින් ලැබෙන කලාත්ම රසය මා මනසේ ඇදෙනවා නම් මා එම නිර්මාණ කෙරෙහි විශේෂයෙන්ම ඇදී යනවා. එහි ප්‍රතිථලයක් වශයෙන් මාගේ නිර්මාණය තුල සිද්ධි ගොඩ නැංවීමේදී පාථකයා ගේ සිත තුල යම් සිනමාරූපී බවක් ජනිත කරවීම සදහා ප්‍රයත්නයක් නොදැරුවා කිවහොත් එය නිවැරදි නොවේ.

    මෙම නිර්මාණයේ කතා විඥාසය ඒක රේඛීය බවින් මිදී ඔබටම ආවේණික රටාවක් අනුගමනය කරන බව පෙනෙන්නට තිබෙනවා. බොහෝ විට ඉන් පාඨකයාහට ඔබ ගොඩ නගන කතා විඥාසය තුල දිගින් දිගටම සිතන්නට සලස්සනවා. විශේෂ හේතුවක් තිබේද?

    පොදුවේ නිර්මාණය පැරණි වට්ටෝරුවකට අනුව සාදා හොදින් කලවම් කොට හැන්දකින් පාඨකයාගේ මුවග තබන්නට මම කැමති නැහැ. මා කරන නිර්මාණ සමග පාඨකයා වඩ වඩාත් බද්ධ වෙමින් ඒ පිළිබදව ස්වය්ංව හෝ ප්‍රවාදයක් ගොඩනගා ගන්නවා නම් එය මා නිර්මාණකාර්යය හරහා ලබන ජයග්‍රහණයක්.

    සමකාලීන සිංහල සාහිත්‍යය පිළිබදව ඔබගේ මතය?

    මෙම ප්‍රශ්නයට පිළිතුරක් දීමට තරම් නූතන සංහල සාහිත්‍යය පිළිබදව ක්‍රමික හැදෑරිමක් කර නැහැ. නමුත් සිංහල සාහිත්‍යට වඩා ඉංග්‍රීසි සාහිත්‍යය පරිශීලනය කිරීමෙන් ගෙවන මුදලට වටිනා කමක් හෝ ලැබෙනවා කියා සිතෙනවා.

    ඒ කියන්නේ ඔබ සිංහල සාහිත්‍යය කියවන්නේ නැහැ කියන එකද?

    කියවනවා, තෝරා බේරාගෙන.

    ඒ මොනවගේ පොත්ද?

    මම වික්‍රමසිංහගේ, ජී.බී ගේ ශෛලියන්ට වඩාත් ප්‍රිය කරනවා. නූතන පරපුරේ කතුවරුන්ගෙන් නිශ්ශංක විජේමාන්න, සුනේත්‍රා රාජකරුණානායක, සමන් වික්‍රමාරච්චි, ලියනගේ අමරකීර්ති උපුල් ශාන්ත සන්නස්ගල ගේ නිර්මාණ වලට ඇලුම් කරනවා. මා සමකාලීනයන් අතරින් මා මනස අවදි කළ නිර්මාණ වූයේ කෞෂල්‍ය කුමාර්සිංහගේ “නිම්නාගේ ඉතිහාසය”, ඉසුරු චාමර සෝමවීරගේ “ගැහැනු පිරිමි මල් පලතුරු” කෙටිකතා සංග්‍රහය, මෙන්ම මෑතකදී කියැවූ සුරත් ගේ ” තී හා තා” මා සිත් ගත්තා.

    බටහිර සාහිත්‍යයෙන් ඔබ අනුගමනය කරන්නේ?

    අවාසනාවකට මම සිංහල බසට අමතරව කියවන්නට සහ තේරුම්ගන්නට දන්නේ ඉංග්‍රීසි බස පමණයි. ඒ අතුරින් චෙකොව් ගේ පටන් බොහෝ නිර්මාණ කියවනවා නමුත් අනුගමනය කරන්නේ නැහැ. මෑතකදී අවසානය තෙක් කියැවූයේ අරවින්ද් අඩිගාගේ “වයිට් ටයිගර්” නවකතාව.

    ඝර්ම නවකතාවට මේ දක්වා ලැබුණු ප්‍රතිචාර කෙසේද?

    හරියාකාරව ප්‍රතිචාර පිළිබදව කතා කිරීමට නම් නිර්මාණය පාඨකයා අතට හරියාකාරව යා යුතුයි. ඊට කලක් ගත වේවි. නමුත් මේ දක්වා ඝර්ම කියැවූ බොහෝ දෙනෙකු ඒ සදහා බොහෝ යහපත් ප්‍රතිචාර දක්වනවා.

    ඔබගේ මීළග නිර්මාණයත් නවකතාවක්ද?

    බොහෝ විට කෙටිකතා සංග්‍රහයක් වේවි. එහි වැඩ නිම කොට තිබුණත් ලංකාවේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් එය දිනෙන් දින කල් යනවා.

    සාකච්ඡා කළේ: රමේශ් වරල්ලේගම

    රමේෂ් වරල්ලෙගම

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.