fbpx
තවත්
    මුල් පිටුවspecialඅපේ ආහාරයත් අරපිරිමැස්මෙන් නවෝත්පාදනය කරමු

    අපේ ආහාරයත් අරපිරිමැස්මෙන් නවෝත්පාදනය කරමු

    අරපිරිමැසුම්දායී නවෝත්පාදන ලිපි පෙළෙහි තෙවන දිගහැරුම “ආහාර නවෝත්පාදනය” ලෙස ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.

    දැනට ශ්‍රී ලංකාවේ පවතින අධි උද්ධමනකාරී වාතාවරණයේදී තම දිවි පෙවෙත ගැටගසාගෙන යාමට අරගල කිරීමට සැමදෙනාටම සිදු වී ඇත. ආර්ථික අවපාතයකදී නොනැසී පැවතීමට නිර්මාණශීලී බව සහ තර්කාණුකූල චින්තනය යොදා ගනිමින්  ස්ථානෝචිතව කඩිනමින් පිලිතුරක් සෙවීමේ අවශ්‍ය වේ.

    පවතින ආර්ථික අර්බුදය සමාජ අර්බුදයක් කරා යාමට පෙර නිසියාකාරව කටයුතු කිරීම මේ මොහොතේ  ප්‍රමුඛතම අවශ්‍යතාවය වී ඇත. ඒ සඳහා යම් මතවාදීව සංවාදයක් ඇතිකිරීම මෙම ලිපි පෙලෙහි මුඛ්‍ය අරමුණ වේ.

    නවෝත්පාදනය වෙත සමාජය ගමන් කරවීමට නිර්මාණශීලීත්වය, නිරීක්ෂණය, තර්කානුකූල චින්තනය, ස්ථානෝචිතව ක්‍රියාත්මක වීම, උපායමාර්ගිකව වෙනස්කම් සිදුකිරීම ආදිය වැදගත් වේ. එලෙසටම යම් නවෝත්පාදනයක බලපෑම අංශක 360 කින් විශ්ලේෂණය කිරීම ඉතාමත්ම වැදගත්වේ.

    ආහාරයක් නවෝත්පාදනය කිරීමේදී එහි පෝෂ්‍ය ගුණය, සනීපාරක්ෂාව සුරැකෙන ලෙස අරපිරිමැසුම්දායී ලෙස සිදුකල යුතුය. යූටියුබ් චැනල සහ අන්තර්ජාලයේ දැක්වෙන සියළු දේ ක්‍රියාත්මක කිරීමට පෙර මනා ලෙස විශ්ලේෂණය කිරීම මෙන්ම විශේෂඥ උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වේ. ඒ සඳහා පර්‍යේෂණ ආයතන රාශියක් රට තුල පවතී. දැනුමැති පුද්ගලයින් රාශියක් රටතුල සිටිති. අනවශ්‍ය ලෙස ඔවුන්ගේ දැනුම ආයතන  පද්ධතිය තුල හිරකර තැබීමකින් තොරව සමාජය වෙත ගලා ඒමට ක්‍රමවේද සැකසීමත්, විද්වත් සංවාද ඇතිකිරීමත් ඉතාමත්ම වැදගත්වේ.

    “කොස් කටු, ක්‍රෝටන් කොළ කන තත්ත්වය කරා රට ගමන් කිරීමට පෙර අපගේ ආහාර නවෝත්පාදනය කිරීම ඉතාමත්ම වැදගත් වේ.”

    අපගේ සුපුරුදු දෛනික  ආහාර සැකසීමේ ක්‍රියාවලි  දිගු වේලාවක් ගතවන, ඉන්පසුව ආහාර සැකසූ ස්ථානය අස්පස් කිරීමට තවත්  විශාල කාලයක් ගතවන, සාම්ප්‍රදායික ක්‍රමවේදයට යම් නවෝත්පාදනයක අවශ්‍යතාවය පැන නැගී ඇත.

    සරළ එහෙත් පෝෂ්‍යදායි  ආහාර රටා ඇති බොහෝමයක් දියුණු රටවල ජනතාව තම වටිනා කාලය කළමනාකරණය කරගන්නා ආකාර සහ එහි වටිනාකම ගැන ප්‍රශස්ති සමාජමාධ්‍ය වල කෙතරම් ලියවන්නේද?

    ආහාරය නවෝත්පාදනය වීම කෙසේ වන්නේදැයි සොයා බලමු.

    නවෝත්පාදනය වූ බොහෝ ආහාර පහසුවෙන් සැකසීම, අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් වලින් බහුතරයක්  සැපිරීම සහ අඩු වියදමක් සහිතව සකසා ගැනීම වැනි ලක්ෂණ සහිත විය යුතුවේ. එනමුදු, සමහර නවෝත්පාදිත ආහාර මින් ලක්ෂණ කිහිපයක් පමණක් ආමන්ත්‍රණය වී ඇත.

    උදාහරණ ලෙස සමහර ආහාරමය නවෝත්පාදන කිහිපයක් ඔබ වෙත දක්වන්නට කැමැත්තෙමි. ඒවා වාණිජමය අරමුණක් සහිතව නවෝත්පාදනය වූවක් නොව, අර්බුදකාරී සමාජයක පැවැත්ම සඳහා ගත් නිර්මාණශීලී කුඩා පියවරක සමාජගත වීමකි. අද සමස්ත සමාජයක ජනප්‍රිය ආහාරයක් වී ඇත්තේ එක් එක් නවෝත්පාදකයින් රැසක් කාලයක් සමග ගත් කුඩා පියවර රැසක ප්‍රතිඵලයක් ලෙසය.

    ඒවායින් බොහෝමයක් අප ආශාවෙන්  රසවිඳින ආහාර වේ. සමහරක් ආහාර තවම අප රසවිඳීමට ලැබී නොමැත. එවන් විශේෂිත ආහාර ගැන යම් වැඩිදුර විස්තර ඔබහට අන්තර්ජාලය තුලින් පරිශීලනය කළ හැක.

    කාලයක් තුල සමාජය තුලින්ම නවෝත්පාදිත ආහාර කිහිපයක් මෙසේ ලැයිස්තුගත කරන්නෙමි.
    1. ෆ්‍රයිඩ් රයිස්
    2. කොත්තු රොටි වර්ග
    3. රොටි වර්ග
    4. පුටින් (Poultine)- කැනඩාවේ ක්විබෙක් ප්‍රාන්තයේ ප්‍රංශ සම්භවයක් සහිත කම්කරුවන්ගේ නවෝත්පාදනයකි. කැනඩාවට ආවේනික ආහාරයක් වේ

    පුටින් (poultine)
    1. පීසා (Pizza)/ බර්ගර් (burger)/ ටාකෝ (taco) / බරීටෝ  – ටෝටිලා ( burrito – tortilla)
    2. ඉඩ්ලි, වඩේ, තෝසේ
    3. කිමිචි (කොරියාවේ ප්‍රචලිත අච්චාරු වර්ගයකි)
    4. ක්ෂණික නූඩ්ල්ස්
    කිමිචි (kimchi)

    ඉහත දැක්වූ ආහාර කිහිපය අද ආහාර සැපයුම් ආයතන හෝ සන්නාම හරහා අපහට ලබාගත හැකි අතර, එහි වාණිජමය අගය සහ සෞඛ්‍යමය කරුණු ගැන නොසලකා අපගේ පහසුව පමණක්ම ගැන සිතා ඒවාට ආකර්ෂණය වී සිටිමු.

    එහෙත් යොදාගන්නා විවිධ රසකාරක සහ අමුද්‍රව්‍යවල ගුණාත්මක බව පිළිබඳව ඇති ප්‍රශ්නකාරී බව හේතුවෙන් ඒවායේ සෞඛ්‍යාරක්ෂාව ගැන යම් සැකයක් පවතී.

    එහෙත්, නිර්මාණශීලීව මෙවන් ආහාර පහසුවෙන් තමා විසින් තවදුරටත්  අරපිරිමැසුම්දායී ලෙස නවෝත්පාදනය කිරීමට වර්තමාන අර්බුදකාරී තත්ත්වය හමුවේ අප සැමට සිදුවී ඇත.

    බොහෝමයක් නවෝත්පාදිත ආහාර වර්ග අඩු ආදායම්ලාභී දුප්පත්  ජනතාවගේ නවෝත්පාදන වූ අතර, පසුකාලීනව දුප්පත් පොහොසත් භේදයකින් තොරව සියළුම ජනතාවගේ ආකර්ෂණය ලබා ගත් ඉහළ මිලක් සහිත සන්නාම කරා පරිනාමය වී ඇත.

    ආහාර සුරක්ෂිතතාවය කරා නවෝත්පාදනයේ වැදගත්කම

    පසු අස්වනු හානිය සහ ආහාර නාස්තිය ලෝකය වසාගෙන ඇති තවත් අර්බුදයකි. පමණට වඩා ආහාර බෙදාගෙන අපතේ හැරීමේ “මෝස්තරය” ට අප සැම තිත තැබිය යුතුය. සමහර ආයතන විසින් මෙසේ ආහාරයෙන් පසු ඉවතලන ආහාර වලින් සත්ත්ව ආහාර නිපදවීමේ නවෝත්පාදන සිදුකර ඇත. එමෙන්ම ඉන්දියාවේ සමහර සුබසාධන සංවිධාන විසින් හෝටල සහ උත්සව වල භාවිතයෙන් තොරව ඉතුරු වන ආහාර, අවශ්‍ය අයවෙත ලබාදීමේ සමාජ-නවෝත්පාදන ව්‍යාපාර  ඇතිවීම ප්‍රශංසනීයය.

    පසු-අස්වනු හානිය වලකමු 

    පසු අස්වනු හානිය

    ශ්‍රී ලංකාව තුල පසු-අස්වනු හානිය අස්වැන්නෙන් 40% පමණ වේ. පෙර-අස්වනු සහ පසු-අස්වනු ක්‍රමෝපායන් වල ඇති අඬුලුහුඬුකම්, කාර්‍යක්ෂම නවෝත්පාදන ක්‍රමවේද වෙත යොමුවීම කෙරේ සමාජයේ පවතින ප්‍රතිරෝධය, සැපයුම් දාමයේ (supply chain) හි පවතින අඩුලුහුඬුකම් මෙයට හේතුවී ඇත. සමහර සුපිරි වෙළඳසැල් දාම මේ පිළිබඳව යම් අවධානයක් යොමුකර ඇතිවුවද, සමස්ත සමාජය මෙයට වඩා පසු-අස්වනු හානිය අඩුකර ගැනීමට කටයුතු කළ යුතුය. එක් නවෝත්පාදනයක් ලෙස පලාවර්ග වලට ජල බිඳිති නිරතුරුවම ස්ප්‍රේ කිරීම සමහර සුපිරි වෙළඳසැල් වලදී සිදුකිරීම දැක්විය හැක. මෙමගින් පළා වර්ගවල නැවුම් බව රඳවා ගැනීම සාර්ථක ලෙස සිදු කරයි.

    එළවළු සහ පළා වලට ජල බිඳිති ස්ප්‍රේ කිරීම

    විජලිත ආහාර නවෝත්පාදනය කරමු

    විජලිත ආහාර පිළිබඳව පාරම්පරිකව යම් අවධානයක් අප සමාජය යොමුකර තිබුනද, අද වනවිට ඒ පිළිබඳව එතරම් අවධානයක් යොමුනොකිරීම කනගාටුවට කරුණකි. මාළු පරිරක්ෂණය සඳහා කරවල, ජාඩි වැනි ආහාර රාශියක් පාරම්පරිකව අරපිරිමැසුම්දායී ලෙස නවෝත්පාදනය  කර ඇති රටක, ආහාර පරිරක්ෂණය නවෝත්පාදනයක් ලෙස නැවත හඳුන්වා දීමට (repositioning) සිදුවී ඇත.

    ආතර් වී දියෙස් මැතිතුමා බත් ගස ලෙස සමාජගත කළ කොස් ගස වෙත ආහාර සුරක්ෂිතතාවය සඳහා නැවත  යොමුවීමට අප හට සිදුවනු ඇත. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ පීඨයේ ව්‍යවසායක තරුණයෙකු විසින් හඳුන්වාදුන් ” කොස්පෝෂ” සමපූරක ආහාරයේ සිට කොස් සහ වරකා යොදාගෙන සැකසූ විවිධ ආකාරයේ පරිරක්ෂිත ආහාර පිළිබඳව යොමුවීම කාලෝචිත වේ. බොහෝමයක් විජලිත ආහාර නිසි තාක්ෂණයකින් සිදුකළහොත් අපනයනය කිරීමේ විභවයක් පවතී. කාර්මික තාක්ෂණ ආයතනය, පසු අස්වනු තාක්ෂණ  ආයතනය වැනි රාජ්‍ය ආයතන රාශියක් හරහා නිසි තාක්ෂණය ලබාගෙන මෙම කාර්‍යය සාර්ථක ලෙස සිදුකරන ව්‍යවසායකයින් රැසක් ලංකාව තුල සිටිති.

    විජලිත මස්

    බොහෝමයක් නවෝත්පාදන විශ්ව විද්‍යාල/ පර්‍යේෂණ ආයතනයන්හි පර්‍යේෂණ නිබන්ධන හෝ පර්‍යේෂණ  පත්‍රිකා තුල හිරවී තිබීම ඛේදනීය තත්ත්වයකි. එය සමාජගත කිරීමත්, නිර්මාණශීලී ලෙස අරපිරිමැසුම්දායී ලෙස ඒවා තවදුරටත්  නවෝත්පාදනය කිරීම මෙවන් අවස්ථාවක කාලෝචිත වේ.

    විජලිත ආහාරවලට ශ්‍රී ලාංකික සමාජය යොමු නොවුනේ ඇයි?

    කරවල, අටුකොස්,අටුදෙල්, වියලි කරවිල වැනි සීමිත විජලිත ආහාර කිහිපයක් පමණක් සමාජය තුල ප්‍රචලිත වී ඇතත් බොහෝමයක් වෙනත් විජලිත ආහාර වෙත සමාජය යොමු නොවී ඇත.
    අතිරික්ත පලදාව විජලනය කොට කල් තබාගෙන අවාරයේ පරිහරණය කිරීමට සමාජයක් ලෙස යොමුවිය යුතුය. සමහර නූඩ්ල්ස් වර්ග සහ සුප් මිශ්‍රණ  වල විජලිත එළවළු එක්කොට තිබුනද ඒ පිළිබඳව යොමුවීම ඉතා අඩුය. සමහර ආයතන විසින් වියලි මුරුංගා කොළ කුඩුකොට එක්කල නූඩ්ල්ස් වර්ග නවෝත්පාදනය කොට වෙළඳපොළ වෙත එක් කිරීම ප්‍රශංසනීයය. අගනා රසකාරකයක් ලෙස විජලිත  බිම්මල් කුඩු ආහාරයට එක් කිරීමට අප පුරුදු වී නොමැත. මොනොසෝඩියම් ග්ලූටමේට් (මොටෝ වර්ග) වලට ස්වාභාවික ආදේශකයක් ලෙස විජලිත බිම්මල් කුඩු භාවිතා කළ හැක. එය පරිප්පු රසවත් කිරීමට සුප් කැට එක්කිරීමට වඩා අගනා නවෝත්පාදනයකි.

    එහෙත් විජලිත ආහාර නවෝත්පාදන වෙත ජනතාව අවම වශයෙන් යොමු වීම පිළිබඳව  අධ්‍යයනය කළවිට පහත හේතුන් හඳුනාගත හැකිවිය.

    1. නැවුම් එළවළු පළතුරු වල පවතින රසය වයනය විජලිත ආහාර වල නොමැති වීම.
    2. විජලිත ආහාර වලින් ආහාර සැකසීමේ දැනුම මද වීම සහ ඒ පිළිබඳව සමාජ කතිකාවතක් නොමැති වීම
    3. විජලිත ආහාර නිසිපරිදි භාවිතා කිරීම පිලිබඳව ඇති වැරදි වැටහීම්.
    4. සදාහරිත දේශගුණයක් සහිත ශ්‍රී ලංකාවේ ජනතාව  විජලිත ආහාර වලට වඩා නැවුම් ආහාර වලට දැඩි කැමැත්තක් දැක්වීම සහ ඔවුන්ට නැවුම් ආහාර වසර පුරාම ලබාගත හැකිවීම.
    5. විජලිත ආහාර නිසිලෙස ගබඩා කිරීමට දැනුම නොමැති වීම. ඉහල ආර්ද්‍රතාවක් සහ උෂ්ණත්වයක් පැවතීමෙන් ආහාර මත නැවත ජලය උරා ගැනීමත්, ක්ෂුද්‍රජීවීන් වර්ධනය වීමත් සිදුවීම වලක්වා ගැනීමට නිසි තාක්ෂණය යොදා නොගැනීම මෙයට එක් හේතුවකි.

    විජලිත හෝ අගය එකතුකල ආහාර වර්ග සහ ආහාර පරිරක්ෂණය  ශීත ඍතු සහිත රටවල්වල නිවසේදීම සිදුකරනු ලබයි. විවිධ එළවළු පළතුරු වර්ග නිවසේදීම වගාකිරීම සහ ඒවා පරිරක්ෂණය කිරීම ශීත දේශගුණයක් සහිත රටවැසියන් සිදුකරති. ආහාර විජලන යන්ත්‍ර සහ අධිශීතකරණ යන්ත්‍ර බොහෝ නිවෙස්වල අනිවාර්යයෙන්ම ඇත්තේ ඔවුන් වගාකරන හෝ මිළදීගන්නා ආහාර ශීත ඍතුව තුල පරිරක්ෂණය කර ගැනීමේ දැඩි අවශ්‍යතාවය  හේතුවෙනි. මෙවැනි රටවල ජනතාව ආහාර රටාව අරපිරිමැසුම්දායී සහ කාර්‍යක්ෂමව නවෝත්පාදනය කර ඇත. මෙනිසා අසීරු අවස්ථාවකදී වුවද සුරැකීමේ අභිලාෂයෙන් ආහාර පරිරක්ෂණය සිදුකිරීමට ඔවුන් නැඹුරු වී ඇත. එහෙත් සදාහරිත දේශගුණයක් සහිත ශ්‍රීලංකා වාසීන් හට ආහාර පරිරක්ෂණයේ ඇති වැදගත්කම තවම නොතේරීම කණගාටුවට කරුණකි.  මෙනිසා ආහාරවල අරපිරිමැසුම්දායී නවෝත්පාදනය ලංකාව තුල අවම ලෙස සිදුවී ඇත.

    පහත සඳහන් අරපිරිමැසුම්දායී ආහාර නවෝත්පාදන සංකල්පවල වැදගත්කම දක්වනු කැමැත්තෙමි.

    1. කිරිපිටි  හෝ නැවුම් කිරි වෙනුවට සහලින් සැකසූ කිරි යෙදූ කිරිතේ භාවිතය. ධාන්‍ය සහ රනිල කුලයේ බීජ යෙදූ ආදේශක භාවිතය
    2. කොස් ඇට වලින්, කොස් ඇට පිටි වලින් සැකසූ ආහාර සහ වට්ටක්කා පිටි යෙදූ ආහාර. වාරයේදී අපතේ යන මෙවැනි ආහාර වර්ග පරිරක්ෂණය කිරීම සහ භාවිතය වැඩි කල යුතුය.
    විජලිත කොස් පිටි
    1. මිරිකා ඉවතලන පොල්කුඩු වියලා පිටි කොට සාදාගන්නා ආහාර. බොහෝ බටහිර රටවල පොල්පිටි (coconut flour) වෙළෙඳපොලෙහි ඇති අතර එයට ආදේශක  නිවසේදීම සාදාගත හැක.
    2. බණ්ඩක්කා සාරු යෙදූ බැදුම්/ බැටර් කළ ආහාර. මෙමගින් බැදීමේදී ආහාරය වෙත තෙල් උරා ගැනීම බොහෝ දුරට අඩු කරයි. මෙය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ආහාර තාක්ෂණය පිලිබඳ උගත් ශිෂ්‍යයකු විසින් පර්‍යේෂණ කොට සමාජගත කළ නවෝත්පාදන සංකල්පයකි. දවුල් කුරුඳු සාරු යොදා සාම්ප්‍රදායික ලෙස ආස්මි සැකසීමේදී ආස්මි වලට තෙල් උරාගැනීම අඩු වීම නිරීක්ෂණය කිරීමෙන් මෙම නවෝත්පාදනය සිදු කර ඇත. තෙල් බේරෙමින් අප ආහාරයට ගන්නා කට්ලට්, රෝල්ස් වැනි ආහාර මෙලෙස නවෝත්පාදනය කිරීම සමාජය සෞඛ්‍ය සම්පන්න කිරීමට කෙතරම් වැදගත් නොවෙද?

    මෙවන් නවෝත්පාදන සංකල්ප  තවදුරටත් අධ්‍යයනය කොට ඒවායේ අඩුපාඩු  ඇත්නම් නිරාකරණය කොට තවදුරටත්  නවෝත්පාදනය කරන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.

    ඉදිරියේ ඇතිවන ආර්ථික අර්බුදය සහ ආහාර අර්බුදය හමුවේ ඇතිවන මන්දපෝෂණය වැනි සමාජ ප්‍රශ්නවලට දැන් සිටම පිලිතුරු සෙවීමට අදම යොමු වෙමු.

    මන්දපෝෂණය

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ආචාර්ය දිනෙත් සමරවික්‍රම
    ආචාර්ය දිනෙත් සමරවික්‍රම
    ආචාර්ය දිනෙත් සමරවික්‍රම ලංකා රසායන විද්‍යා ආයතනයේ උපාධිධාරියෙකි. ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමණාකරණපති (MBA) පශ්චාත් උපාධියද, කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයෙන් ආචාර්ය උපාධිය (Ph.D) ලබාගත්තේය. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයෙන් (SLSI) මෙහෙයවූ තත්ත්ව කළමණාකරණ ඩිප්ලෝමාධාරියෙකු වන ඔහු ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය පර්යේෂණායතනයක පර්යේෂණ තාක්ෂණඥයෙකු ලෙස සේවය කරයි. සමරවික්‍රම මහතා, ස්වභාවික විද්‍යා සහ සමාජවිද්‍යා පර්යේෂණවල නියුතු පර්යේෂකයෙකි.

    ඔබේ අදහස් දක්වන්න.